රෝම 7:7-14

රෝම 7:7-14 SCV

එසේ නම් කුමක් කියමු ද? ව්‍යවස්ථාව පාපය ද? කොහෙත් ම නැත! මන්ද ව්‍යවස්ථාව නො වන්නට පාපය කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. “තණ්හා නො වනු” යි ව්‍යවස්ථාවෙන් නො කියැවිණි නම්, තණ්හාව කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. එහෙත් නීතිය මගින් ඉඩ ප්‍රස්තා අල්ලා ගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වී ය. ව්‍යවස්ථාව නැති තැන, පාපය මළ එකකි. වරෙක මම ව්‍යවස්ථාවෙන් තොර ව ජීවත් ව සිටියෙමි. එහෙත්, ආඥාව පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි. ජීවනය පොරොන්දු වූ ආඥාව ම මට මරණය ගෙනාවේ ය. මන්ද ආඥාව මගින් ප්‍රස්තාව අල්ලා ගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය. එබැවින් ව්‍යවස්ථාව ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය. එසේ නම්, මට මරණය ගෙනාවේ ඒ යහපත් දේ ද? කොහෙත් ම නැත! පාපය, පාපය ම වග පෙන්වීමට හා මනින්නට බැරි තරම් වූ පාපිෂ්ඨත්වය, ආඥාව මගින් පෙන්වීමට ඒ යහපත් දේ මගින් මා තුළ මරණය නිපදවූයේ පාපයයි. මන්ද ව්‍යවස්ථාව ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.

රෝම 7 කියවන්න