රෝම 7:1-12

රෝම 7:1-12 SCV

සහෝදරයිනි, මා කතා කරන්නේ නීතිය දන්නා අයට ය; නීතිය කෙනකුට බලපවත්වන්නේ ඔහු ජීවත් ව සිටින තෙක් පමණක් වග ඔබ දන්නේ නැති ද? එපරිදි විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටින තුරු, නීතියෙන් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඔහුට බැඳුණු විවාහ නීතියෙන් ඈ නිදහස් වන්නී ය. තවද ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඇය එම බැම්මෙන් නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත. මා සහෝදරයිනි, එපරිදි ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් ව්‍යවස්ථාවට මැරුණහ; එසේ ව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, වෙනත් කෙනකුට එනම් මළවුන්ගෙන් නැගිටුවන ලද තැනැන්වහන්සේට ඔබ බැඳී සිටින පිණිස ය. මාංසයෙහි අප ජීවත් වූ කාලයේ ව්‍යවස්ථාවෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි. එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි ව්‍යවස්ථාවෙන් නිදහස් ව සිටින්නෙමු. එහි ප්‍රතිඵලය නම්, අප සේවය කරන්නේ ලේඛනයක් මත පමණක් පදනම් වූ පැරණි ක්‍රමයට අනුව නො ව, ආත්මයාණන්ගේ නව ක්‍රමයට ය. එසේ නම් කුමක් කියමු ද? ව්‍යවස්ථාව පාපය ද? කොහෙත් ම නැත! මන්ද ව්‍යවස්ථාව නො වන්නට පාපය කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. “තණ්හා නො වනු” යි ව්‍යවස්ථාවෙන් නො කියැවිණි නම්, තණ්හාව කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. එහෙත් නීතිය මගින් ඉඩ ප්‍රස්තා අල්ලා ගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වී ය. ව්‍යවස්ථාව නැති තැන, පාපය මළ එකකි. වරෙක මම ව්‍යවස්ථාවෙන් තොර ව ජීවත් ව සිටියෙමි. එහෙත්, ආඥාව පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි. ජීවනය පොරොන්දු වූ ආඥාව ම මට මරණය ගෙනාවේ ය. මන්ද ආඥාව මගින් ප්‍රස්තාව අල්ලා ගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය. එබැවින් ව්‍යවස්ථාව ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය.

රෝම 7 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 7:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය