රෝම 6:6-18
රෝම 6:6-18 SCV
තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු. මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ද ජීවත් වන වග, අපි විශ්වාස කරන්නෙමු. ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ ආධිපත්‍යයක් නැත. උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එක ම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක. එලෙස ම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න. එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න. ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න. මන්ද ඔබ ව්‍යවස්ථාව යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත. එසේ නම් කිමෙක් ද? අප ව්‍යවස්ථාව යටතේ නො ව, අනුග්‍රහය යටතේ වන බැවින් පවෙහි ගැලෙමු ද? කොහෙත් ම නැත! යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද? එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන් ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින් ම අවනත ව, පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත් ව සිටිති.

