රෝම 4:13-25

රෝම 4:13-25 SCV

මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, ව්‍යවස්ථාව මගින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මගිනි. මන්ද උරුමකරුවන් වන්නේ, ව්‍යවස්ථාවේ පිහිටා සිටින්නවුන් නම්, ඇදහිල්ල නිෂ්ඵල ය; පොරොන්දුව හිස් ය. මන්ද ව්‍යවස්ථාව උදහස ගෙන එයි. එහෙත් නීතියක් නැති තැන, නීති කැඩීමක් ද නැත. පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත ව්‍යවස්ථාව යටතේ සිටිනවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය. ඒ, “මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය. “ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීන්ගේ පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය. අවුරුදු සියයක් වයස්ගත ව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇතිකර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි. ඔහුගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ එබැවිනි. “ඔහුට එය ගණන් ගනු ලැබී ය” යන වචන ලියනු ලැබ ඇත්තේ, ඔහු උදෙසා පමණක් ම නො වේ; අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය. උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම උදෙසා ය.

රෝම 4 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 4:13-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය