රෝම 4:1-12

රෝම 4:1-12 SCV

එසේ නම්, මාංසාකාරයෙන් අපගේ ආදි පිය වූ ආබ්‍රහම් විසින් කුමක් ලබා ගත්තේ යැයි කිව හැකි ද? මන්ද ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්‍රියා මගින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ. ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි. ඉදින් වැඩක් කිරීමෙන් කෙනකු ලබන වැටුප, ඔහුට හිමි ගාස්තුව වශයෙන් විනා, තෑග්ගක් ලෙස සලකනු නො ලැබේ. එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ. ක්‍රියාවලින් තොර ව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එය ම පවසයි. “තමන්ගේ අපරාධවලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.” මෙම භාග්‍යය චර්මඡේදිතයින්ට පමණක් ද? නැතහොත් චර්මඡේද නො වූවන්ටත් ද? අප කියන්නේ, ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ ඇදහිල්ල බවයි. ඔහුට අදාළ ව එසේ ගණන් ගනු ලැබුවේ කෙසේ ද? ඒ ඔහු චර්මඡේද වන්නට කලින් ද? ඊට පසුව ද? එසේ වූයේ ඔහු චර්මඡේද වූවාට පසුව නො වේ; ඊට කලින් ය. ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මගින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොර ව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්, චර්මඡේද වීමෙන් පමණක් නො ව, චර්මඡේද වන්නට පෙර අපගේ පිය වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ලේ පියමං ඔස්සේ ගමන් කරන චර්මඡේදිතයින්ගේ ද පියාණන් බවට ඔහු පත් වීමටත් ය.

රෝම 4 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 4:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය