රෝම 3:9-31
රෝම 3:9-31 SCV
එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත් ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ල ම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට දෝෂාරෝපණ කොට තිබේ. ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත. සැවොම ඉවත හැරී, ඔවුන් එක් ව නිෂ්ඵල බවට පත් ව ඇත; යහපතක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.” “ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි. රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.” “ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.” “ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.” “ඔවුන්ගේ පාද, ලේ හැලුමට යුහු යුහු ව යයි; ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි; සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.” “ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැත.” දැන් අප දන්නා පරිදි, හැම කටක් ම වහන පිණිස හා මුළු ලෝකය ම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, ව්‍යවස්ථාවේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ය. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. ව්‍යවස්ථාව මගින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය. එහෙත් දැන් ව්‍යවස්ථාවෙන් තොර ව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. ව්‍යවස්ථාව හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන පරිදි, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත. මන්ද සියල්ලෝ ම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මගින් ධර්මිෂ්ඨ කරනු ලබති. උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මගින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය. තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය. එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි. මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් තොර ව, ඇදහිල්ල මගින් බවයි. දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින් ම අන්‍ය-ජාතීන්ගේත් ය. දෙවියන්වහන්සේ එක ම තැනැන්වහන්සේ වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මගින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක. එසේ නම්, අපි මෙම ඇදහිල්ල මගින් ව්‍යවස්ථාව අවලංගු කරන්නෙමු ද? කොහෙත් ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.

