මන්ද ව්‍යවස්ථාව නැතිව පව් කළ සැවොම, ව්‍යවස්ථාව නැතිව විනාශ වන්නෝ ය. ව්‍යවස්ථාව යටතේ සිට පව් කළ සැවොම, ව්‍යවස්ථාවෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය. මන්ද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වන්නේ ව්‍යවස්ථාවට සවන් දෙන්නන් නො වේ; ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ව්‍යවස්ථාව පිළිපදින්නන් ය. සැබවින් ම, ව්‍යවස්ථාව නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, ව්‍යවස්ථාව ඔවුන් සතු ව නොමැති වුවත්, ඔවුන් ම ඔවුන්ට ව්‍යවස්ථාවක් වී තිබේ. ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සාක්ෂි දැරීමෙන් හා තමන්ට ම දොස් තබමින් හෝ තමන් නිදොස් කරමින් නැගෙන සිතුවිලි මගින්, ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ හදවත්හි ලියැවී ඇති වග ඔවුහු පෙන්වා දෙති. මගේ ශුභාරංචියට අනුව ඒ දවසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රහස් විනිශ්චය කරන සේක.
එහෙත් ඔබ යුදෙව්වෙකියි කියා ගනිමින්, ව්‍යවස්ථාවේ එල්ලී, දෙවියන්වහන්සේ තුළ පාරට්ටු කර ගනිමින්, ව්‍යවස්ථාවෙන් ගුරුහරුකම් ලද බැවින්, උන්වහන්සේගේ කැමැත්ත කුමක් ද කියාත්, පිළිගත යුතු වඩා උතුම් දේ කවරේ ද කියාත් ඔබ දනී නම්, තවද මේ ගැන ඔබට සහතික නම්, එනම් අන්ධයනට ඔබ මග පෙන්වන්නෙක් ද අඳුරේ සිටින්නන්ට පහනක් ද දැනුම් තේරුම් නැති අයට උපදේශකයෙක් ද බාලයනට ගුරුවරයෙක් ද වේ නම්, (මන්ද ඥානයේත්, සත්‍යයේත් මූර්තිය ඔබට ඇත්තේ ව්‍යවස්ථාව තුළ ය.) එහෙම නම්, අනුන්ට උගන්වන ඔබ, ඔබට ම උගන්වා ගන්නේ නැති ද? සොරකමට එරෙහිව දේශනා කරමින්, ඔබ සොරකම් කරනවා ද? කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද? ව්‍යවස්ථාව ගැන පාරට්ටු කර ගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද? මන්ද ලියා ඇති පරිදි, “දෙවියන්වහන්සේගේ නාමය අන්‍ය-ජාතීන් අතරේ අපහාසයට ලක් ව තිබෙන්නේ ඔබ නිසා ය.”
ව්‍යවස්ථාවට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවට ම වටිනාකමක් ඇත. එහෙත් ඔබ ව්‍යවස්ථාව කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි. එහෙම නම්, චර්ම-ඡේදනය නො ලද්දකු ව්‍යවස්ථාවේ නියෝග පිළිපදිනවා නම්, ඔහුගේ චර්ම අඡේදනය, චර්මඡේදිත සේ නො සැලකේ ද? මෙසේ, කායික ව චර්මඡේදිත නො වූ නමුදු, ව්‍යවස්ථාව පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් ව්‍යවස්ථාව කඩන ඔබ විනිශ්චය කරනු ඇත.
පිටස්තර ව පමණක් කිසිවකු යුදෙව්වරයකු වන්නේ නැත. එසේ ම, චර්ම-ඡේදනය ද පිටස්තර වූ ශාරීරික වූ එකක් පමණක් නො වේ. යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මගින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි.