රෝම 16:11-27

රෝම 16:11-27 SCV

මගේ නෑයකු වූ හෙරෝදියන්ටත්, ස්වාමින්වහන්සේ තුළ නාර්කිසස්ගේ පවුලේ අයටත් ආචාර කරන්න! ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න. ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න. ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න; අසින්ක්‍රිතස්, ප්ලේගොන්, හෙර්මෙස්, පත්‍රොබස්, හෙර්මාස් හා ඔවුන් සමඟ සිටින සහෝදරයින්ට ආචාර කරන්න. පිලොලොගස්, ජූලියා, නේරියස් හා ඔහුගේ සොයුරියටත්, ඔලිම්පස් හා ඔවුන් සමඟ සිටින සියලු ශුද්ධවතුනටත් ආචාර කරන්න. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති. සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනි ව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක් ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න. එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති. ඔබගේ කීකරුකමේ කීර්තිය හැමට ම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි. සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා! මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේ ම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති. මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි. මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි. නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! ආමෙන්. කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබී, දැන් එළිදරවු වී ඇති අබිරහස ලෙස මගේ ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රකාශ කිරීමට අනුව ඔබ ශක්තිමත් කිරීමට සමත් තැනැන්වහන්සේට, ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මගින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ අසමසම ප්‍රඥාවෙන් හෙබි එක ම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.

රෝම 16 කියවන්න