ශක්තිමතුන් වූ අප, අප ම සතුටු කර නො ගෙන, දුර්වල අයගේ දුර්වලතා ඉවසා සිටීම යුතු ය. අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය” යනුවෙන් ලියා ඇති පරිදි: ක්‍රිස්තුස්වහන්සේ ද තමා ම සතුටු කර ගත්තේ නැත. මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය; ඉවසීම මගින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මගින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.
ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අනුකූලව, එකිනෙකා සමඟ සමඟියකින් ජීවත්වීමට ඉවසීමේත්, ධෛර්යයේත් දෙවියන්වහන්සේ ඔබට වර දෙන සේක්වා! ඒ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේට හා පියාණන්වහන්සේට ඔබ හැම එක් ව, එක කටහඬින් මහිමය දෙන පිණිස ය.
එබැවින් දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ පිළිගත් සේ ම, ඔබත් එකිනෙකා පිළිගන්න. මා ඔබට කියන්නේ, ක්‍රිස්තුස්වහන්සේ චර්මඡේදිතයින්ගේ සේවකයකු වූයේ, දෙවියන්වහන්සේගේ සත්‍යවාදීත්වය දක්වන පිණිස බව ය; එසේ කළේ, ආදි පියවරුනට දෙන ලද පොරොන්දු ස්ථිර කරන පිණිසත්, උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය:
“එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි,
ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”
නැවතත්,
“එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීති වන්න.”
නැවතත්,
“සියලු අන්‍ය-ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;
සියලු ජනයා උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!”
නැවතත් යෙසායා මෙසේ කියයි,
“ජාතීන්ට රජකම් කිරීමට නැගිටින,
යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත.
අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.”
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත් ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි. එහෙත් සමහර කරුණු ඔබට යළි සිහි ගන්වමින්, එඩිතර ව ම මා ඔබට ලියුවේ දෙවියන්වහන්සේ මට දෙන ලද අනුග්‍රහයට අනුව ය. ඒ අනුව දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ පූජක මෙහෙවර තුළ, අන්‍ය-ජාතීන් උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයකු කරනු ලැබ සිටින්නේ, අන්‍ය-ජාතිකයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබ, දෙවියන්වහන්සේට පිළිගත මනා පූජාවක් වන පිණිස ය.
එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත. අන්‍ය-ජාතීන් කීකරුකමට ගෙන ඒමට, මා ලවා ක්‍රිස්තුස්වහන්සේ ඉටු කළ කාරිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් කතා කිරීමට එඩිතර නො වෙමි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි. අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මගේ අභිලාෂය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය.