එබැවින් සහෝදරයිනි, දෙවියන්වහන්සේගේ දයාවන් හමුවේ මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ශරීර ශුද්ධ වූත්, දෙවියන්වහන්සේට ප්‍රිය ප්‍රසන්න වූත් ජීවමාන යාගයක් ව දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. ඔබේ ආත්මික නමස්කාරය එයයි. තවදුරටත් මේ ලෝකයේ ගති-පිළිවෙලට අනුකූල නො වී, ඔබේ මනස අලුත් කර ගැනීමෙන් වෙනස් ආකාර වන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත, යහපත් වූත්, ප්‍රිය ප්‍රසන්න වූත්, පරිපූර්ණ වූත් කැමැත්ත කුමක් දැයි ඔබට ම පරීක්ෂා කර, අනුමත කර ගත හැකි වන්නේ එවිට ය.
මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුට ම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ විනිශ්චයෙන්, තමන් ගැන සිතන්න කියා ය. අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එක ම කාර්ය භාරයක් නො වන පරිදි, අපත් බොහෝ දෙනකු නමුදු, ක්‍රිස්තුස්වහන්සේ තුළ එක ශරීරයක් ව, අන්‍යෝන්‍ය අවයව වේ. අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා. එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා, එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලී ව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත් ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා.
ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න. ජ්වලිත බවින් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගී ව ස්වාමින්වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න. ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න. එකිනෙකා හා සමඟියෙන් ජීවත් වන්න. අහංකාර නො වන්න. යටහත් අය සමඟ ඇසුරු කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නො වන්න.
කිසිවකුටත් නපුරට-නපුර නො කරන්න. හැමෝම ඉදිරියේ ගරු කටයුතු දේ ම කරන්නට සිතට ගන්න. හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න. ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට ඉඩ හරින්න. අනෙක් අතට,
“ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න;
පිපාස නම්, බොන්නට දෙන්න.
එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය.”