දැන් මා අසන්නේ, ඔවුන් පැකුළුණේ වැටී යන පිණිස ද? කොහෙත් ම නැත! එසේ ඉශ්‍රායෙල් ඊර්ෂ්‍යාවට පත් කරන පිණිස, ඔවුන්ගේ වරද හේතු කොට අන්‍ය-ජාතීන්ට ගැලවීම පැමිණවීමට ය. මෙසේ ඔවුන්ගේ වරද, ලෝකයාට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පිරිහීම, අන්‍ය-ජාතීන්ට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පූර්ණත්වය, කොයි තරම් ඉමහත් සමෘද්ධියකට හේතු වේ ද?
මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි. හේතුව, කෙලෙස හෝ මගේ ම ජනයා ඊර්ෂ්‍යා ගන්වා, එමඟින් ඔවුන් කීප දෙනකු හෝ ගැලවීමයි. මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද? නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්‍ර නම්, ඇනූ පිටි ගුලිය ම පවිත්‍ර ය. ගසේ මුල පවිත්‍ර නම් එහි අතුත් පවිත්‍ර ය.
එහෙත් අතු සමහරක් කඩා දමනු ලදුව, වල් ඔලීව රිකිල්ලක් වන ඔබ අනෙක් අතු අතරේ ගසට බද්ධ කරනු ලැබ, ඔබ ඒ ඔලීව මුලේ පෝෂණ සාරයට කොටස්කරුවකු වී නම්, අතුවලට එරෙහිව උදාරම් නො වන්න. උදාරම් වේ නම් මෙය සිතට ගන්න: මුල ඔබෙන් නඩත්තු වෙනවා නො වේ; මුලෙන් නඩත්තු වන්නේ ඔබයි. “ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත. එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න. මන්ද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතිරි නො කළ සේක් නම්, ඔබත් ඉතිරි නො කරනු ඇත.
එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ. එසේ ම ඔවුහු තම නො ඇදහිලිවත්කමෙහි දිගට ම නො රැඳේ නම්, යළි බද්ධ කරනු ලබති. මන්ද ඔවුන් යළි බද්ධ කිරීමට දෙවියන්වහන්සේට බලය ඇත. ස්වභාවයෙන් වල් ඔලීව ගසකින් කැපූ අතු වූ ඔබ, සිටුවන ලද හොඳ ඔලීව ගසට ස්වභාව ධර්මයට පටහැනි ව බද්ධ කරන ලද්දේ වී නම්, ඊට වඩා කොපමණ පහසුවෙන් ඒ ස්වාභාවික අතු ඔවුන්ගේ ම ඔලීව ගසට බද්ධ කරනු නො ලැබේ ද!
සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස ඔබ දැන නො සිටිනවාට නො කැමැත්තෙමි. ඉශ්‍රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය. ඒ අයුරින් මුළු ඉශ්‍රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස,
“ගැලවුම්කරුවාණෝ සියොනෙහි සිට එන සේක.
එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.
මා ඔවුන්ගේ පාප දුරලන කල,
ඔවුන් සමඟ මගේ ගිවිසුම මෙය වන්නේ ය.”
ශුභාරංචියට අදාළ ව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළ ව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්‍රේමණීයයන් ය. මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය. කලක් දෙවියන්වහන්සේට අකීකරු ව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්, ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මගින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය. මන්ද සියල්ලන් වෙත ම දයාව පානා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් හැම අකීකරුකමෙහි සිර අඩස්සි කළ සේක.
බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද!
උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද!
උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!
“ස්වාමින්වහන්සේගේ සිත දැනගත්තේ කවුරු ද?
උන්වහන්සේට උපදේශක වූයේ කවුරු ද?”
“උන්වහන්සේ ආපසු ගෙවන පිණිස
උන්වහන්සේට ත්‍යාගයක් දුන්නේ කවුරු ද?”
මන්ද සියලු දේ ම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මගිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය.
උන්වහන්සේට සදහට ම තේජෝ මහිමය වේවා! ආමෙන්.