එළිදරවු 9:1-12

එළිදරවු 9:1-12 SCV

පස් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට අහසින් පොළොවට වැටී තිබූ තරුවක් මම දුටිමි. ඔහුට පතුලක් රහිත අගාධ වළේ යතුර දෙන ලදී. ඔහු පතුලක් රහිත අගාධ වළ විවර කළ කල්හි, යෝධ උදුනකින් නැගෙන දුමක් සේ එයින් දුම් නැගිණි. වළෙන් නැගුණු දුමින් හිරුත්, අහසත් අඳුරු විය. ඒ දුමින් පළඟැටි නික්ම පොළොවට බැස ආහ. පොළොවේ ගෝනුස්සන්ගේ බලය වැනි බලයක් උන්ට දෙන ලදී. පොළොවේ තෘණවලට හෝ යම් පැළයකට හෝ ගසකට හෝ හානි නො කරන ලෙස, එහෙත් දෙවියන්වහන්සේගේ මුද්‍රාව තම නළල්හි නැති මිනිසුන්ට පමණක් හිංසා කරන ලෙස උන්ට කියන ලදී. පස් මසක් ඔවුන්ට වධ දෙන්නට උන්ට අවසර ලැබිණ; එහෙත් මිනිසුන් මරන්නට නො වේ; ඔවුන් විඳි වේදනාව ගෝනුස්සකු මිනිසකුට දෂ්ට කළ විට දැනෙන වේදනාව බඳු විය. ඒ කාලයේදී මිනිසුන් මරණය සොයනු ඇත. එහෙත් ඔවුනට එය සම්භ නො වේ; මැරෙන්නට ඔවුන් මහත් සේ ආශා කරනු ඇත. එහෙත් මරණය ඔවුන් වෙතින් පලා යනු ඇත. මෙම පළඟැටින්ගේ පෙනුම, යුද්ධයට සූදානම් කරන ලද අශ්වයින් වැනි ය. උන්ගේ හිස්වල රන් ඔටුනු සේ පෙනුණු යමක් තිබිණි. උන්ගේ මුහුණු, මිනිස් මුහුණු බඳු විය. උන්ගේ හිසකේ, ස්ත්‍රීන්ගේ හිසකේ බඳු විය. උන්ගේ දත්, සිංහ දත් බඳු විය. යකඩ ළය වැසුම් වැනි ළය වැසුම් උන්ට තිබිණි. උන් පියාසලන හඬ, බොහෝ අශ්වයින් හා අශ්ව-රථ යුද්ධයට කඩා වදින හඬට සමාන විණි. ගෝනුස්සන්ට මෙන් වල්ගා හා දළ උන්ට තිබිණි. පස් මසක් මිනිසුන්ට හිංසා කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවල ය. උන්ගේ රජු වශයෙන් පතුලක් රහිත අගාධයේ දූතයා උන්ට සිටියේ ය. ඔහුගේ නම විනාශකයා යන අරුතින් හෙබ්‍රෙව් බසින් අබද්දොන් ය; ග්‍රීක් බසින් අපොල්ලියෝන් ය. පළමු දුක ගෙවිණි. මෙන්න; තවත් දුක් දෙකක් එන්නට තිබේ.