එළිදරවු 5

5
ඇකුළුම් පොත හා බැටළු පැටවාණෝ
1තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ, 2තවද බලවත් දේව දූතයකු උස් හඬ නගා, “මේ පොත දිග හරින්නටත්, එහි මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවුරු දැ?” යි ප්‍රකාශ කරනු මම දුටුවෙමි. 3එහෙත් පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සමත් කිසිවකු ස්වර්ගයේවත්, පොළොවේවත්, පොළොවෙන් යටවත් නො වී ය. 4පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සුදුස්සකු හමු නො වූ බැවින් මම තදින් හඬන්නට වන්නෙමි. 5එවිට මා ඇමතූ වැඩිමහල්ලන්ගෙන් කෙනෙක්, “හඬන්න එපා; මෙන්න, පොත හා එහි මුද්‍රා හත අරින්නට හැකි වන පිණිස, යූදා වංශයේ සිංහයා වූ දාවිත්ගේ අංකුරයාණන් ජය ගත් සේකැ” යි මට කීවේ ය.
6එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි. 7එතුමාණෝ අවුත්, සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේගේ දකුණතින් පොත ගත් සේක. 8එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක් ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ. 9ඔවුහු අලුත් ගීයක් ගැයූහ:
“සුදුසුයි ඔබ පොත ගන්නට,
හා එහි මුද්‍රා අරින්නට,
මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා,
හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද,
මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,
10ඔබ ඔවුන් අපේ දෙවියන්වහන්සේට රාජ්‍යයක් හා පූජකයින් කර ඇත;
ඔවුන් පොළොවේ රජකම් කරනු ඇත.”
11එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්වයින් ද වැඩිමහල්ලන් ද වටා, දේව දූතයින් සමූහයකගේ කටහඬ මට ඇසිණි. ගණනින් දස දහස්වර දස දහසක් ද දහස්වර දහසක් ද වූ 12ඔවුහු හඬ නගා,
“මරන ලද බැටළු පැටවාණෝ,
බලය, ධනය හා ප්‍රඥාව ද
ශක්තිය, ගෞරවය, මහිමය හා පැසසුම ද ලබන්නට වටින්නේ යැ!” යි
පැවසූහ.
13එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි:
“සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්,
ප්‍රශංසාව හා ගෞරවය ද තේජෝ මහිමය හා පරාක්‍රමය ද,
සදහට ම, සදාතනික ව අත් වේවා!”
14ජීවමාන සත්වයෝ හතරදෙනා, “ආමෙන්” කීහ. වැඩිහිටියෝ විසිහතර දෙනා වැඳ වැටී, නමස්කාර කළහ.

දැනට තෝරාගෙන ඇත:

එළිදරවු 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න