එළිදරවු 4:1-4
එළිදරවු 4:1-4 SCV
මින් පසුව මම බැලීමි. මෙන්න! ස්වර්ගයේ ඇරී තිබෙන දොරක්. එවිට පළමු ව මට ඇසුණු, හොරණෑවක් වැනි මා ඇමතූ කටහඬ, “මෙහි නැගී එන්න; මින් පසු සිදු විය යුතු දෑ මම ඔබට පෙන්වන්නෙමි” යි කී ය. එක්වන ම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක. එහි හිඳ හුන් තැනැත්තාණන්ගේ ස්වරූපය සූර්යකාන්ති හා ලෝහිතංකවලට සමාන විය. තවද මරකත මිණකට සමාන දේදුන්නක් සිංහාසනය වටා තිබිණි. ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ.

