එළිදරවු 3:14-19

එළිදරවු 3:14-19 SCV

“ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මූල-නිධානය වූ විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකරු වූ ආමෙන් නැමැත්තාගේ වචන මෙසේ ය. “මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ නැත. ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ සිටියි නම් කැමැත්තෙමි! මෙසේ, ඔබ උණුසුම් ව හෝ සිසිල් ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි. ‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කර ගෙන නො වේ. ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. “මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න.