එළිදරවු 19:1-10

එළිදරවු 19:1-10 SCV

මින් අනතුරුව ස්වර්ගයෙහි මහත් ජන සමූහයකගේ බඳු උස් කටහඬකින් මෙසේ මොර ගසා කියනු මට ඇසිණි: “හාලේලූයා! ගැලවීම, තේජස හා බලය අයිති අප දෙවියන්වහන්සේට ය, මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සත්‍යය ය; සාධාරණ ය. මන්ද තම අපචාරවලින් පොළොව දූෂ්‍ය කළ මහා වේශ්‍යාවට, උන්වහන්සේ දඬුවම් කළ සේක. උන්වහන්සේ ස්වකීය සේවකයින්ගේ ලේ ගැන ඇයට විපාක දුන් සේක.” ඔවුහු නැවතත් මොර හඬ නගමින්: “හාලේලූයා! ඇගේ දුම සදහටම-සදාතනිකව නැගෙතැ” යි කීහ. වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ. එවිට සිංහාසනයෙන් පැමිණි කටහඬක් මෙසේ පැවසී ය: “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ සියලු සේවකයිනි, උන්වහන්සේට භය, ලොකු කුඩා සියල්ලෙනි.” ඉන්පසු මහා ජන සමූහයකගේ ද හඬ බඳු වූ, බොහෝ ජල ඝෝෂාවක හා ගිගුරුම් හෙණ හඬක් වැනි කටහඬකින් මෙසේ මොර ගසනු මට ඇසිණි: “හාලේලූයා! මන්ද සියලු බලැති අප දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රජකම් කරන සේක. අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමා ම සැරසී සිටින්නී ය. ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.) එවිට මා ඇමතූ දේව දූතයා, “ ‘බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයේ භෝජනයට ඇරියුම් ලද්දෝ භාග්‍යවත් ය’ කියා ලියන්නැ” යි පැවසී ය. “මේවා දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයැ” යි ද ඔහු පැවසී ය. එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.

එළිදරවු 19:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය