එළිදරවු 18:1-5

එළිදරවු 18:1-5 SCV

ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතු ව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය. ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය: “ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’ ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද, හැම අපවිත්‍ර ආත්මයකට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය. මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.” ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස, ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස, ‘ඇගෙන් පිටතට එන්න,’ මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක.