එළිදරවු 16:8-21

එළිදරවු 16:8-21 SCV

හතර වන දේව දූතයා තම පාත්‍රය හිරු පිට වැගිරවී ය. ගින්නෙන් මිනිසුන් මතු පිටින් දවාලීමට ඊට බලය දෙන ලදී. දැඩි තාපයෙන් දවනු ලැබූ කල, ඔවුහු එම වසංගත කෙරේ බලය තිබූ දෙවියන්වහන්සේට ශාප කළහ. ඔවුන් පසුතැවිලි වුණේ නැත; උන්වහන්සේට මහිමය දුන්නේ ද නැත. පස් වන දේව දූතයා තම පාත්‍රය මෘගයාගේ සිංහාසනය මත වැගිරවී ය. එවිට උගේ රාජධානිය අන්ධකාරයේ ගිල්වනු ලැබිණ. මිනිස්සු වේදනාවෙන් තම දිව් විකා ගත්හ. ඔවුහු තම වේදනා හා වණ නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට ශාප කළා මිස තම ක්‍රියා ගැන පසුතැවිලි නො වූහ. හය වැනි දේව දූතයා තම පාත්‍රය යුප්‍රටීස් මහ ගංගාව පිට වැගිරවී ය. එවිට පෙරදිගින් එන රජුන් සඳහා මාවත පිළියෙල වන පිණිස, ගඟේ ජලය සිඳී ගියේ ය. එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි. මන්ද ඔවුහු හාස්කම් ලකුණු දක්වන යක්ෂාත්මයෝ ය; සියලු බලැති දෙවියන්වහන්සේගේ මහා දවසේ යුද්ධය සඳහා රජුන් රැස් කරන්නට මුළු ලොව පුරා ඔවුන් වෙත යන්නේ මොවුන් ය. “මෙන්න, මම සොරකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.” හෙබ්‍රෙව් බසින් හාර්මගෙද්දෝන් යයි හැඳින්වෙන ස්ථානයට ඔවුහු රජුන් එක් රැස් කළෝ ය. හත් වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි. එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද දරුණු පොළෝ කම්පාවක් ද විය. මිනිසා පොළොවෙහි වූ දා පටන් කවර කලෙකවත් එවන් පොළෝ කම්පාවක් සිදුව නැත. ඒ සා සැහැසි විණි ඒ පොළෝ කම්පාව. මහා පුරවරය තුන් කොටසකට පැළිණි. ජාතීන්ගේ නගර බිඳ වැටිණි. ස්වකීය දේව උදහසේ භයංකරත්වය නැමති මිදි යුෂ පිරි කුසලාන, ඇයට බොන්නට දෙන පිණිස, දෙවියන්වහන්සේ මහා බබිලෝනිය සිහි කළ සේක. හැම දිවයිනක් ම ඉවත පලා ගියේ ය. කඳු නො පෙනී ගියේ ය. මහ ගල් වැස්සක් අහසේ සිට මිනිසුන් මත පතිත විය. ඒ එක ගලක් තලෙන්තයක් පමණ බර ය. එම ගල් වැසි වසංගතය හේතු කොට ඔවුහු දෙවියන්වහන්සේට ශාප කළහ. ඒ වසංගතය ඒ සා සැහැසි විණි.

එළිදරවු 16:8-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය