එළිදරවු 14:6-20

එළිදරවු 14:6-20 SCV

ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇති ව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි. ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට භය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය. දෙවන දේව දූතයෙක් ඔහු අනුව යමින්, “ඇගේ ලිංගික දුරාචාර කෝපයේ මිදි යුෂ සියලු ජාතීනට බීමට සැලසූ ඒ මහා බබිලෝනිය ඇද වැටිණි; ඇද වැටිණි” යි පැවසී ය. තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්, දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍ර ව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත. ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.” දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරන, යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිටින ශුද්ධවතුන්ට ඉවසා සිටීමේ කැඳවීමකි මේ. ඉන්පසු මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. “මෙසේ ලියන්න: ස්වාමින්වහන්සේ තුළ මෙතැන් පටන් මිය යන මළවුන් භාග්‍යවත් ය.” ආත්මයාණන්වහන්සේ ද, “ඒ එසේ ම යැ” යි කියන සේක. “ඔවුන් තමන්ගේ වෙහෙසින් විශ්‍රාම ලබනු ඇත. මන්ද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් අනුව යනු ඇතැ” යි කියන සේක. ඉන්පසු මෙන්න! සුදු වලාකුළක් සහ ඒ වලාව පිට හිඳගත් මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක් දුටිමි. ඔහු හිසේ රන් ඔටුන්නක් හා අතේ මුවහත් දෑකැත්තක් ඇති ව සිටියේ ය. තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳට ම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය. එවිට වලාකුළ මත හිඳ හුන් තැනැත්තාණෝ තම දෑකැත්ත පොළොවට හෙළූ සේක; පොළොවේ අස්වැන්න නෙළනු ලැබී ය. තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. ගින්න බාර ව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය. එවිට දේව දූතයා පොළොව පිට තම දෑකැත්ත යොදා, එහි මිදි පල අස්වැන්න රැස් කොට, දෙවියන්වහන්සේගේ උදහසේ මිදි මඩින මහා මෝලට ඒවා හෙළී ය. ඒ මිදි මෝල නගරයෙන් පිටතදී මඩිනු ලැබී ය. එවිට අශ්වයකුගේ කටකලියාවක තරම් උසට, පර්ලොං එක්දහස් හයසියයක් දුරට ඒ මෝලෙන් ලේ ගලා ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ