එළිදරවු 14:1-7
එළිදරවු 14:1-7 SCV
ඉන්පසු මම බැලුවෙමි. එවිට මෙන්න! සියොන් කන්ද මත බැටළු පැටවාණන් හා උන්වහන්සේ සමඟ එක්ලක්ෂ හතළිස්හතර දහස් දෙනකු සිටගෙන සිටිනු දුටිමි; ඔවුන්ගේ නළල්හි බැටළු පැටවාණන්ගේ නාමය හා උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ නාමය ලියා තිබිණි. තවද මහ ජල ඝෝෂාවක වැනි හඬක් හා මහ ගිගුරුමක ශබ්දයක් වැනි කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. මට ඇසුණු ඒ කටහඬ, වීණා වයන්නන් ඔවුන්ගේ වීණා වයන හඬ වැන්න. ඔවුහු සිංහාසනය ඉදිරියේ ද ජීවමාන සත්වයින් හතරදෙනා ඉදිරියේ හා වැඩිමහල්ලන් ඉදිරියේ ද අලුත් ගීයක් ගායනා කළහ. පොළොවෙන් මුදා ගනු ලැබ සිටි එක්ලක්ෂ හතළිස්හතර දහස් දෙනාට හැර, අන් කිසිවකුටත් ඒ ගීතය ඉගෙන ගත නො හැකි විය. ස්ත්‍රීන් වෙතින් තමන් කිලිටි කර නො ගත්තෝ ඔවුහු ය. මන්ද ඔවුහු බ්‍රහ්මචාරීහු ය. බැටළු පැටවාණන් යන කොතැනක වුව, උන්වහන්සේ අනුව යන්නෝ ඔවුහු ය. දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට නාඹුල් පල වන පිණිස, මොවුහු මිනිස් වර්ගයා වෙතින් මිලක් ගෙවා මුදා ගනු ලැබුවාහු වෙති. ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වී ය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය. ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇති ව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි. ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට භය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය.

