එළිදරවු 13:1-8

එළිදරවු 13:1-8 SCV

මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය. මා දුටු මෘගයා දිවියකුට සමාන ය. උගේ පාද, වලසකුගේ වැනි ය; උගේ කට, සිංහයකුගේ කට වැනි ය. මකරා තම බලයත්, තම සිංහාසනයත්, මහා ආධිපත්‍යයත් ඌට දුන්නේ ය. උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබුණාක් මෙන් පෙනුනත්, ඒ මාරක තුවාලය සුව වී තිබිණි. මුළු පොළොව මවිත ව මෘගයා පස්සේ ගියහ. මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධ ව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ. අහංකාර හා දේවාපහාසික වචන පැවසීමේ මුඛයක් හා මාස හතළිස් දෙකක් අධිපතිකම් පෑමේ වරය මෘගයාට දෙනු ලැබී ය. දෙවියන්වහන්සේට අපහාස කරන පිණිස, උන්වහන්සේගේ නාමයට හා උන්වහන්සේගේ වාසස්ථානය වන ස්වර්ගවාසීන්ට අපහාස කරන පිණිස, ඌ උගේ කට ඇරියේ ය. ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී. පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.