ගීතාවලිය 99:1-9

ගීතාවලිය 99:1-9 SCV

ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා! සියොනෙහි ස්වාමින්වහන්සේ උතුම් ය; සියලු ජාතීන්ට ඉහළින් උන්වහන්සේ උසස් ව සිටින්නාහ. ඔබගේ උත්තම වූත්, භයංකර වූත් නාමයට ඔවුහු ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ පාරිශුද්ධ ය. රජ්ජුරුවෝ පරාක්‍රමවත් ය, උන්වහන්සේ යුක්තියට ප්‍රේම වන්නේ ය; ඔබ අපක්ෂපාතීත්වය ස්ථාපිත කළ සේක, යාකොබ් වංශය අතරේ ඔබ යුක්තියත්, සාධාරණත්වයත් ඉටු කර ඇත. අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ පා පුටුව අද්දර නමස්කාර කරන්න; උන්වහන්සේ පාරිශුද්ධ ය. උන්වහන්සේගේ පූජකයින් අතර මෝසෙස් ද ආරොන් ද විය, උන්වහන්සේගේ නාමයට යාච්ඤා කළවුන් අතර සාමුවෙල් ද විය. ස්වාමින්වහන්සේට ඔවුහු යාච්ඤා කළ විට උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දුන් සේක. උන්වහන්සේ වලා ටැඹෙහි සිට ඔවුන් ඇමතූ සේක; ඔවුහු තමනට උන්වහන්සේ දුන් පනත් හා නියෝග ඉටු කළහ. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන්ට පිළිතුරු දුන් සේක; ඔබ ඔවුන්ගේ වරදට දඬුවම් පැමිණෙවුව ද ඉශ්‍රායෙල්වරුනට ඔබ කමාවේ දෙවියන්වහන්සේ වූ සේක. අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී උන්වහන්සේට නමස්කාර කරන්න; මන්ද අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරිශුද්ධ ය.

ගීතාවලිය 99:1-9 සඳහා වීඩියෝව

ගීතාවලිය 99:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය