ගීතාවලිය 91:9-16

ගීතාවලිය 91:9-16 SCV

මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්, කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත, කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත. මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය. ඔබ සිංහයාත්, නාගයාත් පාගා දමනු ඇත; ඔබ බියකරු සිංහයාත්, විසකුරු සර්පයාත් පාගා දමනු ඇත. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, “ඔහු මට ප්‍රේම කරන නිසා, මම ඔහු මුදා ගන්නෙමි. ඔහු මගේ නාමය පිළිගන්න නිසා, මම ඔහු ආරක්ෂා කරන්නෙමි. ඔහු මා අමතන කල, මම ඔහුට උත්තර දෙන්නෙමි; කරදර විපත්හි දී මම ඔහු සමඟ සිටින්නෙමි; මම ඔහු මුදා ගෙන, ඔහු ගෞරවයට පමුණුවමි. දීර්ඝායු දී මම ඔහු තෘප්තියට පමුණුවා, මගේ ගැලවීම ඔහුට පෙන්වන්නෙමි.”