ගීතාවලිය 88:1-18

ගීතාවලිය 88:1-18 SCV

අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස, ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි. මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා! මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව. මන්ද මගේ ජීවිතය කරදරවලින් ගහන ය; මගේ දිවිය වළ පල්ලට කෙමෙන් ඇදේ. මා ගණන් ගනු ලබන්නේ මළවුන් අතරට ගිය එකකු සේ ය. මා පණ කෙන්දක් නැති මිනිසකු වැන්න. තවදුරටත් ඔබගේ මතකයට නො එන, ඔබේ අවධානයෙන් සිඳ දැමුණු, ඝාතන කර, මිනී වළට ඇද දැමූවකු පරිදි මළවුන් අතරේ මා අත්හැර දැමිණ. නරාවළේ පත්ලට ම මා හෙළූ ඔබවහන්සේ, එහි අන්ධකාර ගැඹුරට ම මා හෙළූ සේක. ඔබගේ උදහස මහ බරක් ව මා පිට පැටවේ; එහි රළ රැළිවලින් ඔබ මා යට කර දැමූ සේක. සෙලා ඔබවහන්සේ මගේ ළබැඳි මිතුරන් මවෙතින් ඈත් කළ සේක්, ඔවුන්ට මා පිළිකුලක් වන්නට සැලසූ සේක. මම කොටු වී සිටිමි; මට ගැලවී යා නො හැක. සෝ සන්තාපයෙන් මගේ ඇස් මලානික ව ගොසිනි; දවසින් දවස මම ඔබට හඬ ගසමි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ වෙත මගේ දෑත් විදහා සිටිමි. ඔබගේ ආශ්චර්යයන් ඔබ මළගියවුන්ට පෙන්වන සේක් ද? මියගියවුන් නැගිට ඔබට ප්‍රශංසා කරාවි ද? සෙලා ඔබගේ නොමියෙන ප්‍රේමය, මිනී වළ තුළ හෝ ඔබගේ විශ්වාසී භාවය, විනාශයේ ස්ථානයේදී හෝ ප්‍රකාශ කෙරේ ද? ඔබගේ ආශ්චර්යයන් අඳුරෙහි දී දැකගත හැකි වේ ද? දමිටුකමේ ඔබේ ක්‍රියා අමතකවීමේ දේශයේදී හැඳින ගැනේ ද? එහෙත් මම උපකාර ඉල්ලා ඔබට මොර ගසමි, අහෝ ස්වාමින්වහන්ස, මගේ යාච්ඤා උදෑසන ඔබ අබියසට පැමිණේ. කිම ද ඔබ මා ඉවතලන්නේ? කිම ද මවෙතින් මුහුණ සඟවා ගන්නේ අහෝ ස්වාමින්වහන්ස? තුරුණු වියේ පටන් මම පීඩා විඳ ඇත්තෙමි, මරණයට ළං වුණෙමි; ඔබ වෙතින් පැමිණි භීතියෙන්, වේදනා විඳි මා දැන් අසරණ ව සිටිමි. ඔබගේ උදහස මා යට කර දමා ඇත; ඔබගේ භීතිය මා විනාශ කර ඇත. ගං වතුර සේ දවස මුළුල්ලේ ඒවා මා යට කර සිටී; ඒවා සම්පූර්ණයෙන් ම මා ගිල දමා ඇත. ඔබවහන්සේ මගේ මිතුරන් හා මගේ ප්‍රියයන් මවෙතින් ඈත් කළ සේක; දැන් මගේ තනි නොතනියට ඇත්තේ අන්ධකාරය පමණි.

ගීතාවලිය 88:1-18 සඳහා වීඩියෝව

ගීතාවලිය 88:1-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය