ගීතාවලිය 80:1-7
ගීතාවලිය 80:1-7 SCV
සවන් දුන මැනවි අපට, ඉශ්‍රායෙල්ගේ එඬේරාණනි, බැටළු රැළකට සේ යෝසෙප්ට මගපෙන්වන්නාණනි; කෙරුබිම් අතරේ සිංහාසනාරූඪ ව සිටින්නාණනි, බැබළුව මැනව. එප්‍රායිම් ද බෙන්යමින් ද මනස්සේ ද ඉදිරියේ ඔබගේ පරාක්‍රමය පුබුදුකර, පැමිණ, අප ගැලෙවුව මැනව. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, තව කොතෙක් කලක් ඔබ ඔබගේ ජනයාගේ යාච්ඤාවලට කෝප ගන්නා සේක් ද? ඔබ ඔවුන්ට කඳුළු රොටි කැවූ සේක; විසල් බඳුනක් පුරවා කඳුළු ඔවුන්ට බොන්නට දුන් සේක. අප අසල්වැසි ජාතීන්ට අප කලහයට හේතුවක් වන්නට ඔබ මග පෑදූ සේක්; අප සතුරෝ අපට සමච්චල් කරති. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.

