ගීතාවලිය 8:1-9

ගීතාවලිය 8:1-9 SCV

අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය, මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද! ඔබගේ තේජෝ මහිමය, අහසටත් ඉහළින් නැගේ. ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින්, ඔබ බළකොටුවක් පිහිටුවා ඇත්තේ, ඔබගේ එදිරිවාදීන් නිසා සතුරා ද පළි ගන්නා ද නිහඬ කරන පිණිස ය. ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු ඔබගේ අතැඟිලි නිමැවුම් වන ඔබගේ අහස් තල ගැන මා සිතා බලන කල, ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක: ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා වනයේ සතා-සීපාවුන් ද අහසේ පක්ෂීන්, මුහුදේ මසුන් හා සයුරු මාවත්හි සරනා සියලු ජීවීන් ද වේ. අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!

මෙයට අදාළ වීඩියෝ