ගීතාවලිය 78:12-25

ගීතාවලිය 78:12-25 SCV

ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවේ ඊජිප්තු දේශයේ සොවන් පළාතේදී උන්වහන්සේ හාස්කම් පෑ සේක. උන්වහන්සේ මුහුද දෙබෑ කර, ඒ මැදින් ඔවුන් ගෙන ගිය සේක්, මුහුදු ජලය ගොඩැල්ලක් මෙන් නො සැලී කෙළින් සිටින්නට සැලසූ සේක. උන්වහන්සේ දහවලේ වලාකුළක් මගින් ද රාත්‍රිය පුරා ගින්නේ ආලෝකය මගින් ද ඔවුන්ට මග පෙන් වූ සේක; පාළුකරයේදී උන්වහන්සේ පර්වත පලා, මහා ගැඹුරකින් සේ ඔවුනට ජලය බහුල ව ගෙන දුන් සේක; උන්වහන්සේ පර්වත කූට වෙතින් ජල ධාරා පැන නංවා, ගංගා සේ, ජලය ගලා යන්නට සැලසූ සේක. එහෙත් ඔවුහු උන්වහන්සේට එරෙහිව දිගින් දිගට ම පව් කළෝ, වියළි පාළුකරයේදී මහෝත්තමයාණන්ට එරෙහිව කැරලි ගැසුවෝ ය. ඔවුහු තමන් ගිජු වූ ආහාර ඉල්ලා, හිතා-මතා ම දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝ ය. ඔවුහු දෙවියන්වහන්සේට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ රස බොජුන් සපයා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ද? වතුර ගලා හැලෙන්නට උන්වහන්සේ පර්වතයට ගැසූ කල, ජලය ප්‍රවාහයක් ගලා ගිය ද, එලෙස අපට අහර දෙන්නටත් උන්වහන්සේට පුළුවන් ද? ස්වකීය ජනයාට උන්වහන්සේ මස් සපයා දෙන සේක් දැ?” යි කීවෝ ය. ස්වාමින්වහන්සේ ඒ ඇසූ කල, තදින් ම කෝප වූ සේක; යාකොබ් වංශයට එරෙහිව උන්වහන්සේගේ ගින්න ඇවුළුණේ ය; ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව උන්වහන්සේගේ උදහස ඇවුළුණේ ය. මන්ද, ඔවුන් දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබුවේවත්, උන්වහන්සේගෙන් ලැබෙන මිදීම ගැන විශ්වාස කළේවත්, නැති බැවිනි. එහෙත්, උන්වහන්සේ ඉහළ අහසට නියෝග කරමින්, ස්වර්ගයේ දොරටු විවර කළ සේක. ජනයාට කෑමට උන්වහන්සේ මන්නා-වැසි වැස්සවූ සේක, උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගීය ධාන්‍ය දුන් සේක. මෙසේ, මනුෂ්‍යයෝ දේව දූතයින්ගේ රොටි කෑවෝ ය; උන්වහන්සේ ඔවුනට බහුල ව ආහාර එවූ සේක.