ගීතාවලිය 77:3-12
ගීතාවලිය 77:3-12 SCV
අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක; මට කතා කරගන්නටවත් නො හැකි විය. යටගිය දවස් ගැන මම සිතුවෙමි, ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි. රැයේදී මම මගේ ගීත සිහි කළෙමි. මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි: “ස්වාමින් සදහට ම ප්‍රතික්ෂේප කරන සේක් ද? යළි කිසි දින එතුමාණෝ කරුණා නො කරන සේක් ද? එතුමන්ගේ නොමියෙන පෙම සදහට ම අතුරුදහන් වී ද? එතුමන්ගේ පොරොන්දු සැම කලට ම ඇනහිටියේ ද? දයා පෑමට දෙවියන්වහන්සේට අමතක වී ද? එතුමෝ කෝපයෙන් තම අනුකම්පාව යටපත් කළ සේක් ද?” සෙලා එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ: මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි. ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි. ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි, ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.

