ගීතාවලිය 74

74
ගීතාවලිය 74
ආසාෆ්ගේ මස්කීල්#74:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1අහෝ දෙවියන්වහන්ස, ඇයිදෝ ඔබ සදහට ම අප අත්හැර දැමුවේ?
ඇයිදෝ ඔබගේ ම රැළේ බැටළුවන්ට එරෙහිව කෝපයෙන් දැවෙන්නේ?
2සිහි කළ මැනව, පුරාණයේදී ඔබ තෝරාගත් ඔබේ ම ජනයා,
ඔබ ම මුදා ගෙනා, ඔබේ ගෝත්‍ර වංශික ජනයා,
සිහි කළ මැනව, ඔබ වැඩ සිටි ස්ථානය වූ සියොන් කන්ද.
3ඇවිද බැලුව මැනව, නිමක් නැති මේ විනාශය අතර,
ශුද්ධස්ථානය පිටට සතුරා ගෙනැවිත් ඇති මේ විනාශය!
4ඔබ අප මුණ ගැසුණු ඒ ශුද්ධස්ථානයේ සිට සතුරෝ ජය ඝෝෂා කළෝ ය.
ඔවුහු ජය සංකේත වශයෙන් තම ධජ එහි සිටවූහ.
5ඔවුන් හැසිරුණේ පොරෝ ලෙළවා,
කැලෑවේ ගස් කපා හෙළන ගස් කපන්නන් ලෙසිනි.
6ඔවුහු කැටයම් පනේල, ඔවුන්ගේ පොරෝ හා කෙටේරිවලින්
කපා-කොටා, වනසා දැමූහ.
7ඔවුහු ඔබගේ ශුද්ධස්ථානය ගිනි ලා, බිම හෙළූහ;
ඔබගේ නාමයේ වාසස්ථානය කෙලෙසූහ.
8ඔවුහු තම තමන් අතරේ කතා කරමින්, “අපි මුළුමනින් ම ඔවුන් පාගා පොඩිකර දමන්නෙමු” යි කියමින්,
දේශයේ දෙවියන්වහන්සේගේ රැස්වීම් පොළවල් සියල්ල ගිනිබත් කළහ.
9අනුහස් ලකුණු අපට දක්නට ලැබෙන්නේ නැත;
එක ම දිවැසිවරයකුදු ඉතිරි වී නැත,
මේ තත්වය කොතෙක් කල් පවතී දැයි දන්නා කෙනකු ද නැත.
10තව කොතෙක් කලක්, සතුරා ඔබට අවමන් කරයි ද?
අහෝ දෙවියන්වහන්ස, සතුරා ඔබේ නාමයට සදහට ම පරිභව කරන්නේ ද?
11ඔබගේ අත, ඔබගේ දකුණු අත වළක්වාගෙන සිටින්නේ ඇයි?
එය ඔබේ ළයෙන් ගෙන, සතුරන් විනාශ කර දමන්න!
12එහෙත් ඔබ, අහෝ දෙවියන්වහන්ස, පුරාණයේ සිට ම මගේ රජ්ජුරුවන්වහන්සේ ය;
මුළු පොළොව පිටට ගැලවීම ගෙනෙන්නේ ඔබ ය.
13ස්වකීය බලයෙන් මුහුද දෙබෑ කළේ ඔබ ය;
ජලයෙහි අද්භූත සත්වයන්ගේ හිස් කඩා දැමුවේ ද ඔබ ය.
14ලෙවියාතන්ගේ හිස් පොඩිකර,
කාන්තාර සතුනට ආහාර පිණිස ඌ දුන්නේ ද ඔබ ය.
15දිය උල්පත් හා දිය පාරවල් පැන නැංවූයේ ඔබ ය;
සනාතනික ගංගා සිඳී යන්නට සැලසුවේ ද ඔබ ය.
16දහවල ඔබගේ ය, රාත්‍රියත් ඔබගේ ය;
හිරු ද සඳු ද ස්ථාපන කළේ ඔබ ය.
17මහ පොළොවේ සියලු සීමා-මායිම් නියම කළේ ඔබ ය;
ගිම්හානය හා සිසිර යන ඍතු නිමැවූයේ ද ඔබ ය.
18සතුරා ඔබට අවමන් කළ හැටි සිහි කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස,
අඥාන මිනිසුන් ඔබේ නාමයට පරිභව කළ හැටි සිහි කළ මැනව.
19ඔබගේ පරෙවියා, වන සතුනට අල්ලා නුදුන මැනව;
දුකට පත් ඔබගේ ජනයාගේ ජීවිත සදා අමතක නො කළ මැනව.
20ඔබගේ ගිවිසුම ගැන අවධානය යොමු කළ මැනව,
මන්ද ප්‍රචණ්ඩත්වයේ ගැවසුම්වලින් දේශයේ අඳුරු තැන් පිරේ.
21පීඩිත ජනයා ලජ්ජාවට පත් වන්නට ඉඩ නො හැරිය මැනව;
දුගී-දුප්පත්තු ඔබගේ නාමයට ප්‍රශංසා කරත්වා.
22නැගී සිටිය මැනවි අහෝ දෙවියන්වහන්ස, ඔබේ පැත්තෙන් කරුණු දැක්වුව මැනව;
අනුවණයින් දවස මුළුල්ලේ ඔබට සමව්චල් කළ හැටි සිහි කළ මැනව.
23ඔබගේ එදිරිවාදීන්ගේ උද්ඝෝෂණ ද
නොකඩවා නැගෙන ඔබේ සතුරන්ගේ ගාලගෝට්ටිය ද නො සලකා නො හැරිය මැනව.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 74: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න