ගීතාවලිය 73:1-17

ගීතාවලිය 73:1-17 SCV

ඉශ්‍රායෙල් ජනයාට, හදවතින් පවිත්‍ර ඇත්තනට, දෙවියන්වහන්සේ සැබවින් ම ගුණවත් ය. එහෙත් මගේ පාද, ලිස්සා යන්නට ඔන්න-මෙන්න විය; තව ඩිංගෙන් මගේ අඩිය ලිස්සා යන්නට තිබිණි. මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි. ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ! ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති. මිනිසාට පොදු කරදර, ඔවුනට නැත; සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත. එබැවින් ඔවුන්ගේ ගෙලෙහි මාලය, අහංකාරයයි; ඔවුන් අඳනා ඇඳුම, ප්‍රචණ්ඩත්වයයි. ඔවුන්ගේ තද හදවතින් අයුතුකම ගලා ඒ; ඔවුන්ගේ සිත්වල දුෂ්ටකමෙහි කෙළවරක් නැත. ඔවුහු අනුනට ගරහති; දුෂ්ට අදහසින් ම කතා කරති; තම අහංකාරයෙන් යුතු ව අනුනට තර්ජන කරති. ඔවුහු තම මුවින් ස්වර්ගයටත් අයිතිවාසිකම් කියති, තම දිවෙන් මුළු පොළොව ම අයිති කර ගනිති. ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත හැරෙන්නේ එබැවිනි, ඒ ජනයා ඔවුන්ගේ කියුම් වතුර මෙන් ගිල ගනිති. ඔවුහු අදහස් දක්වමින්, “දෙවියන්වහන්සේ මේවා කෙලෙස දැනගන්න ද? මහෝත්තමයාණන්වහන්සේට මේ ගැන දැනුම් තේරුම් තිබේ දැ?” යි අසති. දුෂ්ට මිනිසුන්ගේ හැටි එලෙස ය. ඔවුහු දුක් දොම්නසින් තොර ව වස්තු රැස් කර ගනිති. මගේ හදවත මා පවිත්‍ර ව තබාගත්තෙත්, නිදොස්කමින් මගේ දෑත් සෝදාගත්තේත් සැබවින් ම පල රහිත ව ද! දවස්පතා, දවස පුරා මම හිරිහැර විඳිමින් සිටිමි, උදයක් පාසා දඬුවම් ලබමින් සිටින්නෙමි. මමත් එලෙස කතා කළෙම් නම්, මා ඔබේ දරුවන්ගේ පරපුර පාවා දුන්නා වීමට තිබිණි. මේ සියල්ල වටහා ගැනීමට මා වැර දැරූ කල, එය මට මහත් අසීරු කටයුත්තක් විය. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයට මා ඇතුළු වන තෙක් ම ඒ එසේ විය; ඔවුන්ගේ අවසන් ඉරණම කවරේදැයි මට වැටහුනේ ඉන්පසුව ය.

ගීතාවලිය 73:1-17 සඳහා වීඩියෝව

ගීතාවලිය 73:1-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය