ගීතාවලිය 71:1-14
ගීතාවලිය 71:1-14 SCV
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, බේරුව මැනවි මා ඔබේ දමිටුකම නිසා. මා වෙත ඔබේ සවන යොමා, මා ගැලෙවුව මැනව. හැම විට ගොස්, රැකවරණ ලබන්නට, මගේ සරණයේ පර්වතය වුව මැනවි; මගේ පර්වතයත්, මගේ බළකොටුවත් ඔබ ම බැවින්, මා ගලවන්නට නියෝගය දුන මැනවි. අහෝ මගේ දෙවියන්වහන්ස, දුෂ්ටයන්ගේ අත්වලින්, අසාධාරණ හා කෲර වූ මිනිසුන්ගේ ග්‍රහණයෙන් මා මුදා ගත මැනවි. අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ බලාපොරොත්තුව ඔබ ය, බාල කාලයේ පටන් මගේ විශ්වාසය ඔබ ය. උපතේ පටන් මා විශ්වාසය තැබුවේ ඔබ මත ය; මගේ මවගේ කුසයෙන් මා පිටතට ගෙනාවේ ද ඔබ ම ය. සැමදා මම ඔබට පැසසුම් දෙන්නෙමි. බොහෝ දෙනකුට මම විස්මයක් ව සිටිමි; එහෙත් මගේ බලවත් සරණය, ඔබවහන්සේ ය. ඔබ ගැන ප්‍රශංසාවෙන් මගේ මුව පිරී තියේ; දවස මුළුල්ලේ ඔබගේ මහිමාලංකාරය ඉන් ප්‍රකාශ කෙරේ. මා මහලු වියට පැමිණි කල, මා ඉවත නො දැමුව මැනව; මගේ ශක්තිය සිඳී ගිය කල, මා අත්හැර නො දැමුව මැනව. මන්ද මගේ සතුරෝ මට එරෙහිව කතා කරති; මා මරන්නට බලා සිටින්නෝ එක් ව කුමන්ත්‍රණ කරමින්, මෙසේ කියති, “දෙවියන්වහන්සේ ඔහු අත්හැර ඇත; ඔහු ලුහුබැඳ ගොස්, අල්ලා ගන්න, ඔහු මුදා ගන්නට කෙනෙක් නැත.” අහෝ දෙවියන්වහන්ස, මා වෙතින් ඈත් නො වුව මැනව; අහෝ මගේ දෙවියන්වහන්ස, මගේ උපකාරයට වහා ආ මැනව. මා පිට වරද තබන්නෝ, ලජ්ජාවෙන් විනාශ වී යත්වා! මට උපද්‍රව කරන්නට සොයන්නෝ, අවමානයට හා නින්දාවට පත් වෙත්වා! එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි; වඩ වඩාත් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.

