ගීතාවලිය 65:9-13
ගීතාවලිය 65:9-13 SCV
පොළොව ගැන ඔබ සලකන සේක්, වැසි ජලය එවා, එය ඉතා සරු සාර කරන සේක. ජනයාට ධාන්‍ය ලබාගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ ජල ධාරා ජලයෙන් පිරී ඇත. මන්ද එසේ පිළියෙල කළේ ඔබවහන්සේ ය. ඔබ එහි හීවිටි, ජලයෙන් පොඟවන සේක්, එහි පස්වැටි පිඬැලි, සමතලා කරන සේක; වැසි වස්වා, පොළොව බුරුල් කරන ඔබ එහි වගාවට ආශිර්වාද කරන සේක. ඔබවහන්සේ සරු සාර පලදාවකින් අවුරුද්ද සරසවන සේක, ඔබ යන යන තැන සඵලත්වය පිරී ඉතිරෙයි. පාළුකරයේ තණ බිම්, නිල්ලෙන් වැසී යයි; කඳුකරය, ප්‍රමෝදයෙන් පිනවනු ලබයි. තණපිටි, එළු බැටළු රංචුවලින් සැරසී යයි; මිටියාවත්, ධන ධාන්‍යයෙන් උතුරා යයි. ඒවා ප්‍රීති ඝෝෂා නගමින් ගී ගයති.

