ගීතාවලිය 59

59
ගීතාවලිය 59
සංගීත අධ්‍යක්ෂක වෙත. “වනසා නො දමන්න” යන තනුවට අනුව. දාවිත්ගෙනි. මික්තාම්#59:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. දාවිත් මරා දමන්නට ඔහුගේ නිවස රැක සිටීමට සාවුල් විසින් මිනිසුන් යැවූ කල.
1මගේ සතුරන්ගෙන් මා මුදනු මැනවි අහෝ දෙවියන්වහන්ස,
මට එරෙහිව නැගිටින්නන්ගෙන් මා රැකගත මැනවි.
2මා මුදනු මැනවි, දුෂ්ටකම් කරන්නන්ගෙන්,
ගලවනු මැනවි මා, ලේ පිපාසිත මිනිසුන්ගෙන්.
3බලන්න! ඔවුන් මා ගැන රහසේ රැක සිටින හැටි!
මා අත කිසි වරදක්, පවක් නැති වුව ද, අහෝ ස්වාමින්වහන්ස,
රුදුරු මිනිසුන් මට එරෙහිව නැගී සිටින හැටි!
4මා වරදක් නො කළා වුව ද, මට පහර දීමට ඔවුහු සැරසෙති;
මගේ උදව්වට නැගිටුණු මැනවි; මා ඉන්නා තත්වය ගැන බැලුව මැනවි.
5අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස,
සියලු ජාතීන්ට දඬුවම් කරන්නට ඔබ ම නැගිටුණු මැනව;
මේ දුෂ්ට ද්‍රෝහීන්ට කිසි දයාවක් නො පෑ මැනව. සෙලා
6සන්ධ්‍යා කාලයේ ආපසු එන ඔවුහු,
බල්ලන් මෙන් ගොරවමින්,
පුර ඇතුළත ඔබ මොබ ගැවසෙති.
7ඔවුන් කටින් පිටකරන්නේ මොනවාදැයි බලන්න;
ඔවුන්ගේ තොල් අතරින් පිට වන්නේ කඩු පහරවල් ය.
“අප කියන දේ කවුරුන්ට ද ඇසෙන්නේ?” යි ඔවුහු සිතති.
8එහෙත් ස්වාමින්වහන්ස, ඔබ, ඔවුනට සිනාසෙන්නාහ;
ඔබ ඒ සියලු ජාතීනට ගර්හා කරන සේක.
9අහෝ මගේ ශක්තිය වූ තැනැන්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි;
අහෝ දෙවියන්වහන්ස, ඔබ මගේ බළකොටුව ය,
10මගේ දෙවියන්වහන්සේ, තම නොමියෙන පෙමින් යුතු ව, මා හමුවන සේක.
මගේ සතුරන් දෙස ජයග්‍රාහී ව බලන්නට
දෙවියන්වහන්සේ මට ඉඩ සලසන සේක.
11එහෙත් ඔවුන් මරා දමනු එපා;
නැතහොත් මගේ ජනයාට එය අමතක ව යා හැකි ය.
ඔබගේ බලය පා, ඔවුන් සලිත කොට, ඔවුන් බිඳ වැට්ටුව මැනව.
අහෝ, අපගේ පලිහ වන ස්වාමිනි,
12ඔවුන් තම මුවින් කළ පාප ද
ඔවුන්ගේ තොල් අතරින් පිට වූ වචන ද නිසා,
ඔවුන්ගේ උඩඟුවෙන් ම ඔවුන් කොටුවේවා.
ඔවුන් පැවසූ ශාප හා මුසා නිසා,
13ඔබගේ උදහසින් ඔවුන් දවා දැමුව මැනව;
ඔවුන් නැත්තට ම නැති වන තුරු දවා දැමුව මැනව.
යාකොබ් වංශික ජනයා පාලනය කරන්නේ දෙවියන්වහන්සේ වග,
පොළෝ සීමාන්තයට ම එවිට දැනගන්නට ලැබෙනු ඇත. සෙලා
14සන්ධ්‍යා කාලයේ ආපසු එන ඔවුහු,
බල්ලන් මෙන් ගොරවමින්,
පුර ඇතුළත ඔබ මොබ ගැවසෙති.
15ඔවුහු අහර සොයා ඉබාගාතෙ යති;
සෑහෙන පමණ නො ලද කල, උඩුබුරලති.
16එහෙත් මම ඔබගේ ශක්තිය ගැන ගී ගයන්නෙමි.
ඔබගේ ප්‍රේමය ගැන උදෑසන මම උස් හඬින් ගයන්නෙමි;
මන්ද මගේ බළකොටුව වන ඔබවහන්සේ,
විපත්ති කාලයන්හි මගේ සරණය ය.
17අහෝ මගේ ශක්තිය වූ තැනැන්වහන්ස, මම ඔබට ප්‍රශංසා ගී ගයමි;
අහෝ දෙවියන්වහන්ස, මගේ බළකොටුව ඔබ ම ය,
මගේ ප්‍රේමණීය දෙවියන්වහන්ස.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 59: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න