ගීතාවලිය 38

38
ගීතාවලිය 38
දාවිත්ගේ ගීතයකි. සිහි කරවීමේ යැදුමකි.
1අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු නො කළ මැනව.
ඔබගේ උදහසින් මට දඬුවම් නො කළ මැනව.
2මන්ද ඔබගේ හී ගස් මා සිදුරු කොට ඇත;
ඔබගේ හස්තය මා පිට බර වී ඇත.
3ඔබගේ උදහස නිසා මගේ මාංසයට කිසි සනීපයක් නැත.
මගේ පාප නිසා, මගේ ඇටකටුවල සුවයක් නැත.
4මන්ද මගේ අයුතුකම්, මගේ හිසටත් උඩින් ගොසිනි.
මහා බරක් සේ වූ ඒවා, මට බර වැඩි ය.
5මගේ මෝඩකම් නිසා ම, මගේ තුවාල පැසවා,
පිළිකුල් සහගත ව ඇත.
6යටත් කරනු ලැබ, මම පහළට ඇද දමනු ලැබ සිටිමි;
දවස මුළුල්ලේ මම හඬා වැලපෙමින් සිටිමි.
7මගේ තුනටිය දැඩි වේදනාවෙන් දැවෙයි;
මගේ මාංසයේ සනීපයක් ඇත්තේ ම නැත.
8මුළුමනින් ම මිරිකා පොඩිකරනු ලැබ, මම බෙලහීන ව සිටිමි.
සංවේගී හදවතින් මම කෙඳිරි ගාන්නෙමි.
9අහෝ සමිඳුනි, දැඩි සේ මා ආශා වන සියල්ල ඔබ ඉදිරියේ ය;
මගේ සෝ සුසුම් ඔබගෙන් සැඟවී නැත.
10මගේ හදවත ගැස්සෙයි; ගතේ සවිය ගෙවී යනු, මට දැනේ;
ඇස්වල එළිය පවා මවෙතින් බැහැර ව ගොසිනි.
11මගේ මිතුරෝ හා මගේ සගයෝ මගේ විපත් නිසා මා මග හරිති;
මගේ ළඟ ම නෑයින් පවා සිටගන්නේ මගෙන් ඈත් ව ය.
12මගේ දිවි තොර කරන්නට මානබලන්නෝ මට උගුල් අටවති.
මට අනතුරු කරන්නට අරඅඳින්නෝ දවස මුළුල්ලේ
මා විනාශ කරන්නට කතිකා කරති, වංචාකාරී ප්‍රයෝග අටවති.
13එහෙත් මා බිහිරකු වැන්න, මට ඇහෙන්නේ නැත;
කතා කරන්නට බැරි ගොළුවකු වැන්න;
14මම, කිසිවක් ඇහෙන්නේ නැති,
මුවින් පිළිතුරක් දිය නො හැකි කෙනකු මෙන් වී සිටිමි.
15එහෙත් අහෝ ස්වාමින්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි;
අහෝ සමිඳුනි, මගේ දෙවියනි, මා උදෙසා උත්තර දෙන්නේ ඔබ ය.
16මන්ද ඔබ යදිමින්, මම මෙසේ කීවෙමි: “මට වැරදී ගිය කල,
ඒ ගැන සතුටුවීමට හෝ උදම් වීමට හෝ ඔවුනට ඉඩ නුදුන මැනව.”
17මන්ද මා සිටින්නේ, විනාශයට ඔන්න-මෙන්න කියා ය;
වේදනාව මා අතැර නො යයි.
18මම මගේ අයුතුකම ප්‍රකාශ කරමි;
මගේ පාප නිසා, සිත් කරදර ව සිටිමි.
19හේතුවක් නැතිව මට හතුරු වූවෝ බොහෝ ය;
අහේතුක ව මට වෛර කරන්නන් ගණන් නැති තරම් ය.
20මා හරි දේ ම කරන බැවින්,
කළ හොඳට මට නපුර කරන්නෝ
මට අපවාද නගති.
21අත්හැර නො දමන්න මා, අහෝ ස්වාමින්වහන්ස,
ඈත් නො වන්න මගෙන්, මගේ දෙවියන්වහන්ස.
22එන්න වහා මගේ උපකාරයට,
මගේ ගැලවුම්කරුවාණනි, මා ස්වාමිනි.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 38: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න