ගීතාවලිය 38:1-11

ගීතාවලිය 38:1-11 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු නො කළ මැනව. ඔබගේ උදහසින් මට දඬුවම් නො කළ මැනව. මන්ද ඔබගේ හී ගස් මා සිදුරු කොට ඇත; ඔබගේ හස්තය මා පිට බර වී ඇත. ඔබගේ උදහස නිසා මගේ මාංසයට කිසි සනීපයක් නැත. මගේ පාප නිසා, මගේ ඇටකටුවල සුවයක් නැත. මන්ද මගේ අයුතුකම්, මගේ හිසටත් උඩින් ගොසිනි. මහා බරක් සේ වූ ඒවා, මට බර වැඩි ය. මගේ මෝඩකම් නිසා ම, මගේ තුවාල පැසවා, පිළිකුල් සහගත ව ඇත. යටත් කරනු ලැබ, මම පහළට ඇද දමනු ලැබ සිටිමි; දවස මුළුල්ලේ මම හඬා වැලපෙමින් සිටිමි. මගේ තුනටිය දැඩි වේදනාවෙන් දැවෙයි; මගේ මාංසයේ සනීපයක් ඇත්තේ ම නැත. මුළුමනින් ම මිරිකා පොඩිකරනු ලැබ, මම බෙලහීන ව සිටිමි. සංවේගී හදවතින් මම කෙඳිරි ගාන්නෙමි. අහෝ සමිඳුනි, දැඩි සේ මා ආශා වන සියල්ල ඔබ ඉදිරියේ ය; මගේ සෝ සුසුම් ඔබගෙන් සැඟවී නැත. මගේ හදවත ගැස්සෙයි; ගතේ සවිය ගෙවී යනු, මට දැනේ; ඇස්වල එළිය පවා මවෙතින් බැහැර ව ගොසිනි. මගේ මිතුරෝ හා මගේ සගයෝ මගේ විපත් නිසා මා මග හරිති; මගේ ළඟ ම නෑයින් පවා සිටගන්නේ මගෙන් ඈත් ව ය.