ගීතාවලිය 32:1-11
ගීතාවලිය 32:1-11 SCV
තමන්ගේ අපරාධ කමා කරනු ලැබූ, තමන්ගේ පාප වසා දමනු ලැබූ තැනැත්තා භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ අයුතුකම ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, යමකුගේ ආත්මයේ කිසි රැවටිල්ලක් නො වන්නේ ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය. මා නිහඬ ව සිටිමින්, දවස මුළුල්ලේ කෙඳිරිගාමින් සිටි කල, මගේ ඇටකටු දිරා යන්නට විය. ශික්ෂණයේ ඔබගේ හස්තය, දිවා රෑ දෙකේදී ම මා පිට බර ව තිබිණ; ග්‍රීෂ්ම කල දැඩි උණුසුමට හසුවූවාක් මෙන් මගේ ශක්තිය ද සිඳී ගොස් තිබිණ. සෙලා එබැවින්, මගේ පාප මම ඔබට ප්‍රකාශ කළෙමි. මගේ අයුතුකම් මම නො සැඟවීමි, “මගේ වැරදි ස්වාමින්වහන්සේට පාපොච්චාරණ කරමි” යි කීවෙමි. මගේ පාපයේ වරද එවිට ඔබ කමා කළ සේක. සෙලා එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ. මගේ සැඟවුම් පොළ ඔබ ය. කරදරවලින් ඔබ මා මුදන සේක; මිදීමේ ඔල්වර හඬින් මා වට කරන සේක. සෙලා “නුඹ යා යුතු මග ගැන, මම නුඹට ගුරුහරුකම් දෙන්නෙමි; නුඹට උගන්වන්නෙමි; නුඹ දෙස දෑස දල්වාගෙන මම නුඹට උපදෙස් දෙන්නෙමි.” දැනුම් තේරුම් නැති අශ්වයකු හෝ කොටළුවකු හෝ මෙන් නො වන්න, උන් මෙහෙයවීමට කටකලියාවත්, තෝන් ලණුවත් දැමුවොත් මිස, උන් නුඹ ළඟ සිටින්නේ නැත. දුෂ්ටයින්ට දුක්-විපත් බොහෝ වෙත; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා, උන්වහන්සේගේ නොමියෙන පෙමින් වට කෙරේ. විශ්වාසිකයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න! ප්‍රමෝද වන්න! හදින් අවංක සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නගන්න.

