ගීතාවලිය 18:31-40
ගීතාවලිය 18:31-40 SCV
මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද? ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක; උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි; ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි. නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි.


