මම ඔබට ප්‍රේම කරමි, අහෝ මගේ ශක්තිය වන ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය. ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි; එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි. මරණයේ රැහැන් මා වෙළා-පටලා ගත්තේ ය; විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය. ෂෙයෝලයේ රැහැන් මා වටා එතිණ. මරණයේ උගුල් මා අබියසට ම පැමිණින. මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි; පිහිට ඉල්ලා, මගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි; ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; මගේ මොරගෑම උන්වහන්සේ අබියසට ගොස්, උන්වහන්සේගේ සවන් වැකිණ. එවිට, භූමිය වෙවුලා, කම්පන විය; කඳුවල අත්තිවාරම් ද සෙලවිණ; ඒවා සැලී-වෙවුලා ගියේ, උන්වහන්සේ උරණ වූ නිසා ය. උන්වහන්සේගේ නාස් පුඩුවලින් දූම-වලා නැංගේ ය; උන්වහන්සේගේ මුවින් විනාශකාරී ගින්දර පිට පැන්නේ ය; දැවෙන අඟුරු එයින් ඇවිළ ගියේ ය. උන්වහන්සේ ස්වර්ගය විවර කර පහළට බැස ආ සේක; උන්වහන්සේගේ පා යටින් වූයේ ගන කළුවර ය; උන්වහන්සේ කෙරුබ් පිට නැගී පියාසර කළ සේක්, සුළඟේ පියාපත් පිට සීඝ්රයෙන් වැඩිය සේක. අහසේ අඳුරු වැහි-වලා අන්ධකාරය උන්වහන්සේ තමන්ට ආවරණයක්, තමා වටා උඩු වියනක් කර ගත් සේක. උන්වහන්සේ අබිමුවෙහි වූ දීප්තිය වෙතින් වලාකුළු ඇදී ගියේ ගල් වැහි ද ගිනි අඟුරු ද සමඟිනි. ස්වාමින්වහන්සේ අහසේ සිට ගර්ජනා කළ සේක; මහෝත්තමයාණන්ගේ කටහඬ ගිගුරුම් දුනි; ගල් වැහි ද ගිනි අඟුරු ද නික්මිණ. උන්වහන්සේ තම හී ගස් විද, සතුරන් විසුරූ සේක. මහ විදුලි අකුණු යවා, ඔවුන් පරදා ලූ සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ තරවටුවෙන්, ඔබගේ නාස් පුඩුවල හුස්ම පහරින්, සාගර පත්ල පෙනෙන්නට විණ; පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය. උන්වහන්සේ උස් තැන්හි සිට මා අල්ලා ගත් සේක්, ජලයේ ගැඹුරින් පිටතට මා ඇදගත් සේක. මගේ බලවත් සතුරාගෙන් උන්වහන්සේ මා මිදූ සේක; මට වඩා අතිශය ප්‍රබල මගේ එදිරිවාදීන්ගෙන් මා මිදූ සේක. මගේ විපත්ති දවසේ ඔවුහු මට විරුද්ධ ව පැමිණියහ; එහෙත්, ස්වාමින්වහන්සේ මගේ ආධාරය වූ සේක. පුළුල් නිදහස් තැනකට මා ගෙන ආ උන්වහන්සේ, මා ගැන සොම්නස් වූ බැවින්, මා මුදා ගත් සේක. මගේ දමිටුකමට අනුව, මා ගැන ස්වාමින්වහන්සේ ක්‍රියා කළ සේක. මගේ අත්වල පවිත්‍රතාවට අනුකූලව, උන්වහන්සේ මට ඉටු විපාක දුන් සේක. මන්ද, මම ස්වාමින්වහන්සේගේ මාර්ගවල පැවතුණෙමි; මගේ දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරීමේ දුෂ්ටකම නො කළෙමි. උන්වහන්සේගේ නියමයන් සියල්ල මා ඉදිරියේ විය; උන්වහන්සේගේ නියෝගවලින් මම ඉවත නො හැරුණෙමි. උන්වහන්සේ ඉදිරියෙහි මම දෝෂ රහිත ව සිටියෙමි; පව් කිරීමෙන් මා වළක්වා ගත්තෙමි. ස්වාමින්වහන්සේ මට ඉටු විපාක දී ඇත්තේ, මගේ දමිටුකම්වලට අනුකූලව ය; උන්වහන්සේගේ ඇස් හමුවෙහි මගේ අත්වල පවිත්‍රතාවට අනුකූලව ය.
ගීතාවලිය 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 18:1-24
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ