ගීතාවලිය 146:1-7

ගීතාවලිය 146:1-7 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. එම්බා මගේ ආත්මය, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. මා ජීවත් වන තාක් කල් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි; මගේ ජීවිතය තියෙන තුරු මම මගේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්නෙමි. අධිපතීන් පිට විශ්වාසය නො තබන්න; ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න. ඔවුන්ගේ හුස්ම පිට ව ගිය කල, ඔවුහු ආපිට පොළෝ ගැබට හැරී යති; හරියට ඒ දවසේ ම ඔවුන්ගේ සැලසුම් ද අභාවයට යයි. තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්, තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය. අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද සෑදුවේත්, ඇදහිල්ල සදහට පවත්වන්නේත්, පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්, සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක.