ගීතාවලිය 144

144
ගීතාවලිය 144
දාවිත්ගෙනි.
1මගේ අත් යුද්ධයට මා පුහුණු කරවන,
සටනට මගේ අතැඟිලි හුරු කරවන,
මගේ පර්වතයාණන් වූ ස්වාමින්වහන්සේට පැසසුම් අත් වේවා.
2උන්වහන්සේ මගේ නොමියෙන ප්‍රේමය ය; මගේ බළකොටුව ය;
මගේ රක්ෂස්ථානය ය; මගේ මිදුම්කරුවාණෝ ය.
මගේ පලිහ ය; මගේ සරණය උන්වහන්සේ තුළ ය;
ජනයා මට යටත් කර දෙන්නේ උන්වහන්සේ ය.
3අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ අවධානය යොමු කිරීමට තරම් මිනිසා කවරෙක් ද?
ඔබ සැලකිලිමත් වීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
4මිනිසා හුස්මක් වගේ ය;
ඔහුගේ දවස්, පහ වී යන සෙවණැල්ලක් බඳු ය.
5අහෝ ස්වාමින්වහන්ස, අහස නවා, පහළට බැස එනු මැන;
ඒවායින් දුම් නගින පිණිස කඳු ස්පර්ශ කළ මැනව.
6ඔබගේ විදුලිය එවා, ඔවුන් විසුරුවනු මැන;
ඔබගේ හී විද උන් පලවා හරිනු මැන.
7ඉහළ සිට ඔබේ අත දිගු කොට,
ඒ විදෙස් අත්වලින්, ඒ මහ ජලවලින්
මා මුදා හැරිය මැනව;
මා ගලවාගත මැනව.
8ඔවුන්ගේ මුව කතා කරන්නේ බොරුව ය;
ඔවුන්ගේ දකුණු අත්, මිථ්‍යාවේ දකුණු අත් ය.
9මම ඔබට, අලුත් ගීයක් ගයන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, තත් දහයේ මහ වීණාව වයා,
සංගීතයෙන් ඔබ පිනවන්නෙමි.
10රජුන්ට ජය ගෙන දෙන්නේ ඔබ ය,
තම සේවක දාවිත් මාරක අසිපතින් බේරාගත්තේ ඔබ ය.
11ඒ විදෙස්සන්ගේ අත්වලින් මා මිදුව මැනව;
මා ගැලෙවුව මැනව.
ඔවුන්ගේ මුව කතා කරන්නේ බොරුව ය;
ඔවුන්ගේ දකුණු අත්, මුසාවේ දකුණු අත් ය.
12අපගේ පුතුන් ඔවුන්ගේ යෞවනයේදී
සම්පූර්ණයෙන් වැඩුණු පැළෑටි මෙන් ද
අපගේ දූවරු මාලිගාවක කැටයම් කපන ලද
කුලුනු මෙන් ද වෙත්වා.
13අපගේ ධාන්‍යාගාර,
හැම වර්ගයක ම ධාන්‍යවලින් පුරවනු ලැබේවා.
අපගේ කෙත් වතුවල බැටළුවන් දහස් ගණනින්
දස දහස් ගණනින් බිහිවේවා.
14අපගේ ගව සම්පත ද බෙහෙවින් ගැබ්බර වෙත්වා;
අපේ පුර පවුරු බිඳිනු නො ලබාවා.
වාලට යෑමක් ද නො වේවා.
අපේ වීදිවල ඛේදනීය විලාප දීම් ද නො වේවා.
15තමන් පිට එවන් ආශිර්වාද පතිත ජනයා කවුරු ද, ඔවුහු භාග්‍යවත් ය;
ස්වාමින්වහන්සේ තමන්ගේ දෙවියන්වහන්සේ වන්නේ කවර ජනතාවකට ද, ඔවුහු භාග්‍යවත් ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 144: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න