ගීතාවලිය 144:1-15

ගීතාවලිය 144:1-15 SCV

මගේ අත් යුද්ධයට මා පුහුණු කරවන, සටනට මගේ අතැඟිලි හුරු කරවන, මගේ පර්වතයාණන් වූ ස්වාමින්වහන්සේට පැසසුම් අත් වේවා. උන්වහන්සේ මගේ නොමියෙන ප්‍රේමය ය; මගේ බළකොටුව ය; මගේ රක්ෂස්ථානය ය; මගේ මිදුම්කරුවාණෝ ය. මගේ පලිහ ය; මගේ සරණය උන්වහන්සේ තුළ ය; ජනයා මට යටත් කර දෙන්නේ උන්වහන්සේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ අවධානය යොමු කිරීමට තරම් මිනිසා කවරෙක් ද? ඔබ සැලකිලිමත් වීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? මිනිසා හුස්මක් වගේ ය; ඔහුගේ දවස්, පහ වී යන සෙවණැල්ලක් බඳු ය. අහෝ ස්වාමින්වහන්ස, අහස නවා, පහළට බැස එනු මැන; ඒවායින් දුම් නගින පිණිස කඳු ස්පර්ශ කළ මැනව. ඔබගේ විදුලිය එවා, ඔවුන් විසුරුවනු මැන; ඔබගේ හී විද උන් පලවා හරිනු මැන. ඉහළ සිට ඔබේ අත දිගු කොට, ඒ විදෙස් අත්වලින්, ඒ මහ ජලවලින් මා මුදා හැරිය මැනව; මා ගලවාගත මැනව. ඔවුන්ගේ මුව කතා කරන්නේ බොරුව ය; ඔවුන්ගේ දකුණු අත්, මිථ්‍යාවේ දකුණු අත් ය. මම ඔබට, අලුත් ගීයක් ගයන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, තත් දහයේ මහ වීණාව වයා, සංගීතයෙන් ඔබ පිනවන්නෙමි. රජුන්ට ජය ගෙන දෙන්නේ ඔබ ය, තම සේවක දාවිත් මාරක අසිපතින් බේරාගත්තේ ඔබ ය. ඒ විදෙස්සන්ගේ අත්වලින් මා මිදුව මැනව; මා ගැලෙවුව මැනව. ඔවුන්ගේ මුව කතා කරන්නේ බොරුව ය; ඔවුන්ගේ දකුණු අත්, මුසාවේ දකුණු අත් ය. අපගේ පුතුන් ඔවුන්ගේ යෞවනයේදී සම්පූර්ණයෙන් වැඩුණු පැළෑටි මෙන් ද අපගේ දූවරු මාලිගාවක කැටයම් කපන ලද කුලුනු මෙන් ද වෙත්වා. අපගේ ධාන්‍යාගාර, හැම වර්ගයක ම ධාන්‍යවලින් පුරවනු ලැබේවා. අපගේ කෙත් වතුවල බැටළුවන් දහස් ගණනින් දස දහස් ගණනින් බිහිවේවා. අපගේ ගව සම්පත ද බෙහෙවින් ගැබ්බර වෙත්වා; අපේ පුර පවුරු බිඳිනු නො ලබාවා. වාලට යෑමක් ද නො වේවා. අපේ වීදිවල ඛේදනීය විලාප දීම් ද නො වේවා. තමන් පිට එවන් ආශිර්වාද පතිත ජනයා කවුරු ද, ඔවුහු භාග්‍යවත් ය; ස්වාමින්වහන්සේ තමන්ගේ දෙවියන්වහන්සේ වන්නේ කවර ජනතාවකට ද, ඔවුහු භාග්‍යවත් ය.

මෙයට අදාළ වීඩියෝ