ගීතාවලිය 139:1-12

ගීතාවලිය 139:1-12 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක. මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක. මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ, මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක. මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක. පසුපසින් ද ඉදිරියෙන් ද මා වටලාගෙන ඇති ඔබ, ඔබගේ හස්තය මා පිට තබා ඇත. එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි; මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය. ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද? ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී; මා ෂෙයෝලයේ සැතපුණත්, ඔබත් එතැන සිටී. අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය; ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය. “අඳුර සැබවින් ම මා සඟවා ගනීවි; මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්, අඳුර පවා ඔබට අඳුරක් නො වේ; රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි. මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත.

ගීතාවලිය 139:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය