ගීතාවලිය 135

135
ගීතාවලිය 135
1ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න;
ස්වාමින්වහන්සේගේ සේවකයින් වන
2 ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිටගන්නා,
අපගේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, ප්‍රශංසා කරන්න.
3 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය.
උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න, මන්ද එය ප්‍රසන්න ය.
4 ස්වාමින්වහන්සේ, තමන්ට ම යාකොබ් ද
තම අගනා වස්තුව ලෙස ඉශ්‍රායෙල් ද තෝරාගත් සේක.
5 ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨ වග,
අපගේ ස්වාමින් සියලු දෙවිවරුනට වඩා ශ්‍රේෂ්ඨ වග මම දනිමි.
6 ස්වාමින්වහන්සේ අහස් තුළ ද
පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද
තමන් අබිමත කවරක් වුව කරන සේක.
7පොළෝ කෙළවරින් වලාකුළු නැගෙන්නට සලස්වන්නේ උන්වහන්සේ ය;
වැස්සට පෙර විදුලිය එවන්නේත්,
තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන්නේත්, උන්වහන්සේ ය.
8මිනිසුන්ගේ මෙන් ම සතුන්ගේ ද යන වශයෙන්
ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළුවේ, උන්වහන්සේ ය.
9එම්බා ඊජිප්තුව, නුඹ මධ්‍යයේ පාරාවෝටත්, ඔහුගේ සියලු සේවකයින්ටත් එරෙහිව
ලකුණු හා පුදුම එවුවේ, උන්වහන්සේ ය.
10නොයෙකුත් ජාතීන් ගසා හෙළා,
බලගතු රජවරුන් මරා දැමුවේ උන්වහන්සේ ය;
11එනම්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද
බාෂාන්හි රජු වූ ඕග් ද
කානාන්හි සියලු රාජ්‍යයන් ද යන වශයෙනි.
12උන්වහන්සේ, ඔවුන්ගේ දේශය උරුමයක් කොට,
උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුනට උරුමයක් කොට දුන් සේක.
13අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය;
ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය.
14මන්ද ස්වාමින්වහන්සේ තම ජනයා නිර්දෝෂ වග ප්‍රකාශ කරන සේක;
තම සේවකයින්ට අනුකම්පා කරන සේක.
15සෙසු ජාතීන්ගේ දෙවිවරු, රිදී හා රන් පිළිම වේ;
ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය.
16ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය;
ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත.
17ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත;
ඒවායේ මුවෙහි හුස්ම නැත.
18ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති;
ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති.
19එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ පසසන්න;
එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ පසසන්න.
20එම්බා ලෙවී වංශය, ස්වාමින්වහන්සේ පසසන්න;
උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ පසසන්න.
21යෙරුසලමෙහි වාසය කරන,
ස්වාමින්වහන්සේට සියොනෙහි සිට පැසසුම් අත් වේවා!
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 135: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න