ගීතාවලිය 12:1-8

ගීතාවලිය 12:1-8 SCV

පිහිට වන්න, ස්වාමින්වහන්ස, ධාර්මිකයෝ තවත් නො වෙති. විශ්වාසවන්තයින්, මිනිසුන් වෙතින් අතුරුදහන් ව ගොසිනි. අසල්වැසි හැම කෙනෙක් ම එකිනෙකාට පවසන්නේ මුසා ය; දෙසිතින් යුක්ත ව ඔවුන් පවසන්නේ චාටු කතා ය. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ දෙතොලතරින් නික්මෙන චාටු කතා ද ඔවුන්ගේ දිවෙන් පැවසෙන පුරසාරම් ද සිඳ දමන සේක්වා! “අපේ දිවෙන් අපි ජය ගන්නෙමු, අපේ දිව අපට ඕනෑ විදිහට ය. කවුරු ද අප නවතාලන්නේ?” යි ඔවුහු කියති. “දිළිදුන් කොල්ලකෑමට ලක් වන නිසාත්, දුගියනගේ කෙඳිරිය නිසාත්, මම දැන් පිබිද එමි; ඔවුන් ආශාවෙන් පුල පුලා සිටින රැකවරණය මම ඔවුන්ට සලසා දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක. මැටි කෝවක, හත් වරක් ශෝධනය කළ රිදී මෙන්, ස්වාමින්වහන්සේගේ වචන පවිත්‍ර ය. අහෝ ස්වාමින්වහන්ස, අප සුරැකි ව තබන්නේ ඔබවහන්සේ ය. එබඳු පරපුරකින් සදහට අප රැකගන්නේ ඔබවහන්සේ ය. මිනිසුන් අතර දුරාචාරය රජයන කල, දුෂ්ට ජනයා උදාරමින් ඔබ මොබ යන්නෝ ය.

මෙයට අදාළ වීඩියෝ