ගීතාවලිය 119:33-80
ගීතාවලිය 119:33-80 SCV
උගන්වන්න මට ඔබගේ නියෝග පිළිපැදීමට, අහෝ ස්වාමින්වහන්ස; අවසානය දක්වා මම ඒවා රක්ෂා කරන්නෙමි. අවබෝධය දුන මැනව මට; ඔබගේ ව්‍යවස්ථාව පිළිපැදීමට හා මගේ මුළු හදින් එය රක්ෂා කරන පිණිස. ඔබගේ ආඥා මාවතේ මට මගපෙන්වුව මැනව; මන්ද ඒ තුළ මම ප්‍රමෝද වන්නෙමි. පෞද්ගලික වාසිය දෙසට නො ව, ඔබේ පනත් වෙත මගේ හදවත නැමුව මැනව. නිෂ්ඵල දෑ වෙතින් මගේ දෑස ඉවත හරවා, ඔබේ මාර්ග තුළ මට ජීවනය දුන මැනව. ඔබට භය පක්ෂපාත වන පිණිස, ඔබේ සේවකයාට ඔබේ පොරොන්දුව තහවුරු කළ මැනව. මා බය වන නින්දාව ඉවත හැරෙවුව මැනව; මන්ද ඔබගේ නියමයන් අගනේ ය. මෙන්න, ඔබගේ ශික්ෂාවනට මම කොතරම් ආශා වෙම් ද! ඔබගේ ධර්මිෂ්ඨකම තුළ මට ජීවනය දුන මැනව. ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම, මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස, එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය; මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි. සත්‍යතාවේ වචනය මගේ මුවින් මුළුමනින් ඉවතට නො ගත මැනව; මන්ද මගේ බලාපොරොත්තු ඔබගේ නියමයන් තුළ ය. ඔබේ ව්‍යවස්ථාව සදහට, සදාතනික ව නොකඩව පවත්වන්නෙමි. මම නිදහස්කමින් ගමන් කරන්නෙමි; මන්ද මම ඔබේ ශික්ෂා අනුව පැවතුණෙමි. ඔබගේ පනත්, මම රජුන් ඉදිරියේ ද පවසන්නෙමි. මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. මන්ද මා ප්‍රේම කරන, ඔබේ ආඥා තුළ මම මගේ ප්‍රමෝදය ලදිමි. මා ප්‍රේම කරන, ඔබේ ආඥා දෙසට මම මගේ අත් ඔසවා, ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි. මට බලාපොරොත්තුවක් ඇති කරමින්, ඔබේ සේවකයාට වූ වචනය සිහි කළ මැනවි. ඔබගේ පොරොන්දුව මට ජීවනය ගෙන දෙයි: මගේ වේදනාවේදී මගේ සැනසිල්ල ද එයයි. අහංකාරීහු දැඩි ලෙස මට සමච්චල් කරති; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව වෙතින් මම ඉවත නො හැරෙන්නෙමි. ඔබගේ ඒ පුරාණ නියමයන් කල්පනාවට ගන්නා කල, අහෝ ස්වාමින්වහන්ස, ඒවා තුළ සැනසිල්ල අත්දකිමි. ඔබගේ ව්‍යවස්ථාව අත් හළ දුෂ්ටයින් නිසා කෝපය මා වෙළා ගනී. මගේ මේ තාවකාලික පදිංචියේදී ඔබගේ නියෝග මගේ ගීත වේ. අහෝ ස්වාමින්වහන්ස, රාත්‍රියේදී මම ඔබගේ නාමය සිහි කොට, ඔබගේ ව්‍යවස්ථාවට කීකරු වන්නෙමි. ඔබගේ ශික්ෂා පිළිපැදීමේ හේතුවෙන් මෙය මට ලැබී ඇත. ස්වාමින්වහන්සේ මගේ උරුම කොටස ය; ඔබේ වචනවලට අවනත වීමට මම පොරොන්දු වන්නෙමි. මගේ මුළු හදින් ම මම ඔබේ පිහිට සොයන්නෙමි; ඔබගේ පොරොන්දුව ලෙස මට දයා වුව මැනවි. මගේ මාර්ග කල්පනාවට ගත් මම, ඔබගේ පනත්වලට මගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම ඉක්මන් වන්නෙමි, පමා නො වන්නෙමි. දුෂ්ටයින්ගේ රැහැන් මා වෙළා ගත්ත ද, ඔබේ ව්‍යවස්ථාව අමතක නො කරමි. ඔබේ ධර්මිෂ්ඨ නියමයන් නිසා, ඔබ පසසන්නට රැය මැදියමේ මම පිබිදෙන්නෙමි. ඔබට භය පක්ෂපාතී සියල්ලන්ගේ, ඔබගේ ශික්ෂා පිළිපදින සියල්ලන්ගේ මිත්‍රයෙක්මි මම. ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් මිහිතලය ම පිරිලා ය, අහෝ ස්වාමින්වහන්ස, මට ඔබගේ නියෝග ඉගැන්නුව මැනව. ඔබගේ වචනය ලෙස, ඔබ, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයාගේ යහපත උදෙසා කටයුතු කළ සේක. නිවැරදි විනිශ්චය හා දැනගැන්ම මට ඉගැන්නුව මැනව; මන්ද ඔබගේ ආඥා තුළ මට විශ්වාසය ඇත. පීඩා මගින් මා හික්මවනු ලබන්නට පෙර, මම මුළාව ගියෙමි; එහෙත් දැන්, ඔබේ වචනය රක්ෂා කරන්නෙමි. ඔබවහන්සේ යහපත් ය; කරන්නේ ද යහපත ය; ඔබගේ නියෝග මට ඉගැන්වුව මැනව. අහංකාරීන් මා ගැන බොරු ගොතා කීව ද, මගේ මුළු හදින් මම ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි. ඔවුන්ගේ හදවත්, නිර්වින්දිත ය; දයා විරහිත ය; එහෙත් මම ඔබේ ව්‍යවස්ථාව තුළ ප්‍රමෝද වෙමි. ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස, පීඩා විඳීම මට හොඳ ය. රන්මසු හා රිදී දහස් ගණනකටත් වඩා ඔබගේ මුවෙහි ව්‍යවස්ථාව, මට අගනේ ය. මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි; ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව. ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා; මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්, ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි. ඔබගේ සේවකයාට, ඔබගේ පොරොන්දුව පරිදි, ඔබගේ නොමියෙන ප්‍රේමය, මගේ සැනසිල්ල වේවා. මා ජීවත් වන පිණිස, ඔබගේ දයාව මා වෙත ඒවා! මන්ද ඔබගේ ව්‍යවස්ථාව, මගේ සොම්නසයි. අහංකාරීන් කපටකමින් මට අයුත්ත කළ බැවින්, ඔවුන් ලජ්ජාවට පත් කරනු ලැබේවා; එහෙත් මම, ඔබගේ ශික්ෂා භාවනා කරන්නෙමි. ඔබගේ පනත් දැනගන්නා පිණිස, ඔබට භය පක්ෂපාතී ඇත්තෝ මා වෙත හැරෙත්වා! මා ලජ්ජාවට පත් නො වන පිණිස, මගේ හදවත ඔබගේ නියෝග ඉදිරියේ නිදොස් ව තිබේවා!

