ගීතාවලිය 119:153-176
ගීතාවලිය 119:153-176 SCV
මගේ දුක් පීඩා දෙස බලා මා මිදුව මැනවි; මන්ද මම ඔබගේ ව්‍යවස්ථාව අමතක නො කළෙමි. මා වෙනුවෙන් පෙනී සිට, මුදා ගත මැනව, ඔබගේ පොරොන්දුව ලෙස මා ගැලෙවුව මැනව. ගැලවීම, දුෂ්ටයින්ගෙන් දුරස්ථ ය; මන්ද ඔවුහු ඔබගේ නියෝග නො සලකති. ඔබගේ දයාව ඉමහත් ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ලෙස මට ජීවනය දුන මැනව. මට පීඩා කරන්නන් හා මට සතුරු වූවන් බොහෝ ය; එහෙත් ඔබගේ පනත් වෙතින් මා ඉවත හැරුණේ නැත. අවිශ්වාසිකයින් දෙස මා බලන්නේ පිළිකුලෙනි; මන්ද ඔවුන් ඔබගේ වචනයට අවනත නැත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශික්ෂාවනට මා කොතරම් ප්‍රේම කරම්දැයි කල්පනාවට ගත මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මට ජීවනය දුන මැනව. ඔබගේ සියලු වචන සත්‍යය ය; ඔබගේ සෑම දමිටු නියමයක් ම සදාතනික ය. අහේතුක ව අධිපතීහු මට හිංසා කරති; එහෙත් මගේ හදවත ඔබගේ වචනයට භය පක්ෂපාතී ය. ඔබගේ පොරොන්දුව ගැන මා ප්‍රීති ප්‍රමෝද වන්නේ, මහා කොල්ලයක් ලබන්නකු පරිද්දෙනි. මුසාවට මම ද්වේෂ කරමි, පිළිකුල් කරමි; එනමුදු ඔබගේ ව්‍යවස්ථාවට මම ප්‍රේම කරමි. ඔබගේ දමිටු නියමයන් ගැන දවසට හත් වරක් මම ඔබ පසසමි. ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට විශිෂ්ට සාමයක් ඇත; ඔවුන් පැකිළවන්නට කිසිවකට බැරි ය. ඔබගේ ගැලවීම ගැන බලාපොරොත්තුව සිටිමි. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ආඥා, මම රක්ෂා කරන්නෙමි. මගේ ජීවය, ඔබගේ පනත් පිළිපදියි. ඒවාට මම අතිශයෙන් ප්‍රේම කරමි. ඔබගේ ශික්ෂා හා පනත් මම පිළිපදිමි. මන්ද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහි ය. මගේ හඬ ගෑම, ඔබ ඉදිරියට පැමිණේවා අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ වචනයට අනුව මට අවබෝධය දුන මැනව. මගේ අයැදුම ඔබ අබියසට පැමිණේවා; ඔබගේ වචනයට අනුව මා මුදාලුව මැනව. මගේ දෙතොලින් ප්‍රශංසාව දෝරෙ ගලයි; මන්ද ඔබගේ නියෝග ඔබ මට ඉගැන් වූ සේක. ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨ බැවින්, මගේ දිව, ඔබගේ වචනය ගැන ගී ගයයි. මා ඔබගේ ශික්ෂා තෝරාගත් බැවින්, ඔබගේ හස්තය මගේ උපකාරයට සූදානමින් තියේවා! ඔබගෙන් ලබන ගැලවීමට මම ආශා වෙමි; අහෝ ස්වාමින්වහන්ස, මගේ සොම්නස, ඔබගේ ව්‍යවස්ථාවයි. මගේ ජීවය, ජීවත් ව ප්‍රශංසා කරාවා; ඔබගේ නියමයන් මා දරා සිටීවා! මග වැරදුණු බැටළුවකු සේ මම මුළාව ගියෙමි. ඔබගේ සේවකයා සොයාගත මැනවි. මන්ද ඔබගේ ආඥා මම අමතක නො කළෙමි.

