ගීතාවලිය 119:145-160

ගීතාවලිය 119:145-160 SCV

මගේ හදවතින් ම, මම ඔබට මොරගසන්නෙමි; පිළිතුරු දුන මැනව මට, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියෝග මම පිළිපදින්නෙමි. මම ඔබට හඬ ගසන්නෙමි; මා ගැලෙවුව මැනව; මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි. අරුණ උදයටත් කලින් නැගිට, පිහිට පතා මොරගසන්නෙමි; ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තු ඇත. ඔබගේ පොරොන්දු ගැන භාවනා කරන පිණිස, රෑ තුන්යමේ මගේ නෙත් නො පියා, අවදියෙන් සිටී. ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මගේ කටහඬට කන් දුන මැනව; අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්වලට අනුව, මට ජීවිතය දුන මැනව. දුෂ්ට අරමුණින් මට හිංසා කරන්නෝ ළඟා වෙති; එහෙත් ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔවුන් බොහෝ ඈත ය. එහෙත් ඔබ ඉතා සමීප ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සියලු ම ආඥා සත්‍යය ය. සදහට ම පවතින පිණිස, ඔබ ස්ථාපිත ඔබගේ පනත්, මා දැනගෙන බොහෝ කල් ය. මගේ දුක් පීඩා දෙස බලා මා මිදුව මැනවි; මන්ද මම ඔබගේ ව්‍යවස්ථාව අමතක නො කළෙමි. මා වෙනුවෙන් පෙනී සිට, මුදා ගත මැනව, ඔබගේ පොරොන්දුව ලෙස මා ගැලෙවුව මැනව. ගැලවීම, දුෂ්ටයින්ගෙන් දුරස්ථ ය; මන්ද ඔවුහු ඔබගේ නියෝග නො සලකති. ඔබගේ දයාව ඉමහත් ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ලෙස මට ජීවනය දුන මැනව. මට පීඩා කරන්නන් හා මට සතුරු වූවන් බොහෝ ය; එහෙත් ඔබගේ පනත් වෙතින් මා ඉවත හැරුණේ නැත. අවිශ්වාසිකයින් දෙස මා බලන්නේ පිළිකුලෙනි; මන්ද ඔවුන් ඔබගේ වචනයට අවනත නැත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශික්ෂාවනට මා කොතරම් ප්‍රේම කරම්දැයි කල්පනාවට ගත මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මට ජීවනය දුන මැනව. ඔබගේ සියලු වචන සත්‍යය ය; ඔබගේ සෑම දමිටු නියමයක් ම සදාතනික ය.