ගීතාවලිය 119:121-152

ගීතාවලිය 119:121-152 SCV

මම යුතු දේ ද හරි දේ ද කළෙමි; මට පීඩාකරන්නවුන් අතට මා අත්හැර නො දමනු මැනව. ඔබගේ සේවකයාගේ ශුභ සිද්ධිය සහතික කළ මැනව; මට පීඩා කරන්නට අහංකාරීන්ට ඉඩ නුදුන මැනව. ඔබගේ ගැලවීම ගැන, දැහැමි පොරොන්දුව ඉටුවීම ගැන බලා සිටීමෙන් මගේ දෙනෙත් විඩාබර වෙයි. ඔබගේ සේවකයා ගැන ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව ක්‍රියා කළ මැනව; ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව. මා ඔබගේ සේවකයා ය; ඔබගේ පනත් ඉගෙන ගන්නා පිණිස, මට පැහැදිලි වැටහීම දුන මැනව. ඔබගේ ව්‍යවස්ථාව කඩ වී ඇති බැවින්, ස්වාමින්වහන්සේට ක්‍රියා කරන්නට කාලයයි මේ. රනට වඩා, අමිශ්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට මම ප්‍රේම කරන්නෙමි; එබැවින් ඔබගේ ශික්ෂා සියල්ල නිවැරදි යයි මම කල්පනාවට ගනිමි; වැරදි හැම මාර්ගයකට ම ද්වේෂ කරමි. විස්මයජනක ය ඔබගේ පනත්, එබැවින් මගේ ජීවය ඒවා පිළිපදියි. ඔබගේ වචන එළිදරවු වීමෙන් ආලෝකය ලැබේ; සාමාන්‍ය වැසියාට එමඟින් වැටහීම ලැබේ. ඔබගේ ආඥාවලට දැඩි ව ආශා වන බැවින්, ඒ ගැන පිපාසයෙන්, මම මුව විවර කරමි. ඔබගේ නාමයට ප්‍රේම වන්නන්ට කවදත් ඔබ දයාවන ලෙසින්, මවෙත හැරී, මට ද දයා පෑ මැනව. මගේ පියවර, ඔබගේ පොරොන්දුවට අනුව ස්ථාවර කළ මැනව; කිසියම් අයුතුකමක් මා පාලනය නො කෙරේවා! මවිසින් ඔබේ ශික්ෂා, රක්ෂා කරන පිණිස, මිනිසුන්ගේ පීඩනයෙන් මා මුදා ගත මැනව. ඔබගේ සේවකයා පිට ඔබගේ මුහුණ බැබළුව මැනව; ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව. ජනයා ඔබගේ ව්‍යවස්ථාව නො පවත්වන බැවින්, කඳුළු දහරා මගේ දෙනෙතින් රූරා ගලා යයි; අහෝ ස්වාමින්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. ඔබගේ නියමයන් යුක්ති සහගත ය. ඔබවහන්සේ ඔබගේ පනත් පනවා ඇත්තේ දමිටුකමිනි. සම්පූර්ණ විශ්වසනීයත්වයෙනි. මගේ සතුරන් ඔබගේ වචනය අමතක කරන බැවින්, මගේ උද්වේගයෙන් මම දැවෙන්නෙමි. ඔබගේ පොරොන්දු සපුරා ප්‍රත්‍යක්ෂ ය ය; ඔබගේ සේවකයා ඒවාට ප්‍රේම කරන්නේ ය. මම සුළු කෙනෙක්මි. ගර්හා කරනු ලැබූවෙක්මි. එහෙත් ඔබගේ ශික්ෂා අමතක නො කරන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨත්වය, සදාතනික ධර්මිෂ්ඨත්වයකි; ඔබගේ ව්‍යවස්ථාව සත්‍යතාවය ය. කරදර, විපත්ති මා සොයා ආවා වුව ද, මගේ ප්‍රමෝදය ඔබගේ ආඥාවන් ය. ඔබගේ පනත් සදහට ම ධර්මිෂ්ඨ ය. මා ජීවත් වන පිණිස, මට අවබෝධය දුන මැනව. මගේ හදවතින් ම, මම ඔබට මොරගසන්නෙමි; පිළිතුරු දුන මැනව මට, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියෝග මම පිළිපදින්නෙමි. මම ඔබට හඬ ගසන්නෙමි; මා ගැලෙවුව මැනව; මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි. අරුණ උදයටත් කලින් නැගිට, පිහිට පතා මොරගසන්නෙමි; ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තු ඇත. ඔබගේ පොරොන්දු ගැන භාවනා කරන පිණිස, රෑ තුන්යමේ මගේ නෙත් නො පියා, අවදියෙන් සිටී. ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මගේ කටහඬට කන් දුන මැනව; අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්වලට අනුව, මට ජීවිතය දුන මැනව. දුෂ්ට අරමුණින් මට හිංසා කරන්නෝ ළඟා වෙති; එහෙත් ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔවුන් බොහෝ ඈත ය. එහෙත් ඔබ ඉතා සමීප ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සියලු ම ආඥා සත්‍යය ය. සදහට ම පවතින පිණිස, ඔබ ස්ථාපිත ඔබගේ පනත්, මා දැනගෙන බොහෝ කල් ය.