ගීතාවලිය 119:1-32
ගීතාවලිය 119:1-32 SCV
තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය. උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය; කිසි වරදක් නො කරන ඔවුහු, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති. උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා, ඔබ නියම කළ සේක. අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්! ඔබගේ ආඥා සියල්ල වෙත මා නෙත් යොමු කරනා කල, මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. ඔබගේ දමිටු නියමයන් උගෙනිද්දී මම, අවංක හදකින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබගේ නියෝග, මම පිළිපදින්නෙමි. මුළුමනින් මා අත්හැර නො දැමුව මැනව. යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි. ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි. මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස, ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස, මගේ නෙත් විවර කළ මැනව. මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි; ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව. ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන් මා ජීවය හැම විට ඇවිළේ. ඔබගේ ආඥාවලින් බැහැර ව, මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක. ඔවුන් කරන අවඥා හා අවමාන මා වෙතින් පහ කළ මැනව; මන්ද මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි. අධිපතීන් එක් ව හිඳ, මට එරෙහිව කුමන්ත්‍රණ කළත්, ඔබගේ සේවක මම ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි. ඔබගේ පනත් මගේ සොම්නස ය; මගේ උපදේශකයන් ය. මගේ ජීවය දූවිල්ලට ඇලී ඇත; ඔබගේ වචනයට අනුව මා තුළ යළි පණ පිහිටුව මැනවි. මගේ මාර්ග මා ඔබට කී කල, ඔබ මට පිළිතුරු දුන් සේක; ඉගැන්නුව මැනවි මට ඔබගේ නියෝග. ඔබගේ ශික්ෂා මාර්ග මට වටහා ගන්නට සැලසුව මැනවි. ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා ගැන එවිට මම මෙනෙහි කරන්නෙමි. මගේ ජීවය ශෝකයෙන් දියවී යයි; සවිමත් කළ මැනව මා, ඔබගේ වචනය ලෙස. බොරුව මා වෙතින් දුරු කළ මැනව; ඔබේ ව්‍යවස්ථාව, කරුණාවෙන් මට ඉගැන්නුව මැනව. මම විශ්වසනීයත්වයේ මාර්ගය තෝරා ගතිමි. ඔබගේ නියමයන් මා ඉදිරියේ තබා ගතිමි. ඔබේ පනත්වලට මම ඇලී සිටිමි. අහෝ ස්වාමින්වහන්ස; ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනව. මා හදේ දැනගැන්ම, ඔබ පුළුල් කළ විට, ඔබගේ ආඥා මාවතේ මම දුවන්නෙමි.








