ගීතාවලිය 118:19-29

ගීතාවලිය 118:19-29 SCV

ධර්මිෂ්ඨත්වයේ දොරටු මට විවර කරන්න; මම ඇතුල් වී, ස්වාමින්වහන්සේට ස්තුති කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ දොරටුව මෙයයි; ධර්මිෂ්ඨයෝ එතුළින් ඇතුල් වන්නෝ ය. මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක; ඔබ මගේ ගැලවීම වූ සේක. ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු. අහෝ ස්වාමින්වහන්ස, අප ගැලෙවුව මැනව; අහෝ ස්වාමින්වහන්ස, සඵලත්වය අපට දානය කළ මැනව. ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය; ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ ස්වකීය ආලෝකය අප පිට බැබළෙන්නට සැලසූ සේක. කොළ අතු අතේ දරා, පූජාසනයේ අං දක්වා ම මංගල පෙරහැරට එකතු වන්න. ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබට ස්තුති පුදන්නෙමි; ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබ වර්ණනා කරන්නෙමි. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.